Home » සෞන්දර්ය අධ්‍යාපන ක්‍රමවේද  අලුත් විය යුතුයි

සෞන්දර්ය අධ්‍යාපන ක්‍රමවේද  අලුත් විය යුතුයි

ශාස්ත්‍රපති සුදත් සමරසිංහ

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

ජාතික සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශාස්ත්‍රපති සුදත් සමරසිංහගේ ‘ස්වර ප්‍රස්ථාපන ගීත’ සංයුක්ත තැටිය සහ එම කෘතිය අනිද්දා (16) සවස 2.30ට ජාතික අධ්‍යාපන ආයතනයේදී එළිදැක්වේ. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ 74වැනි ගුණ සමරුව යෙදෙන දා එහිමියන්ගේ කවි නිර්මාණ ඇසුරෙන් ශාස්ත්‍රපති සුදත් මෙහි බොහොමයක් නිර්මාණ එළිදක්වා තිබේ. අපි දැන් ඔහුත් සමඟ වැඩිදුරටත් කතා කරමු.

ඔබ මහින්ද හිමියන්ව නැවත සිහිපත් කරවනවා….

ඔව්. කලෙක සිට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ව සිහි කරමින් ගුණ සමරු වැඩසටහන් පැවැත්වෙනවානේ. මෙවර මම ඒ හිමියන්ගේ වැදගත්කම තවදුරටත් ජාතික වශයෙන් ඉස්මතු කිරීමටයි උත්සාහ කළේ. මෙය සංයුක්ත ගී තැටියක් සහ කෘතියක් වශයෙන් දෙයාකාරයි. ඒ දෙකම සිංහලෙන් පමණක් නොවෙයි දෙමළ බසිනුත් එළිදකිනවා. එයින් මෙතෙක් සිංහල බසින් පමණක් රසවිඳි ඒ හිමියන්ගේ නිර්මාණ සහෝදර දෙමළ ජාතිකයන්ටත් රසවිඳීමට ඉඩ සැලසෙනවා. එපමණක් නොවෙයි, සංගීතය විශ්ව භාෂාවක්. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ නිර්මාණ අන්තර්ජාතික තලයට ඔසවා තැබීමට මා මෙයින් වෑයම් කරනවා.

නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා ආදී මහින්ද හිමියන්ගේ ප්‍රකට නිර්මාණ ගණනාවක් වෙනවා. එසේම, එතරම් ප්‍රසිද්ධ නොවුණු මහින්ද හිමියන්ගේ නිර්මාණ තවත් බොහොමයක් වෙනවා. මා මෙහිදී ඒ පිළිබඳත් අවධානය යොමු කළා. ඒ අනුවයි මෙහි එන ගී නිර්මාණ 21න් 17ක්ම මහින්ද හිමියන්ගේ කවි ඇසුරෙන් නිර්මාණය කළේ.

එහි අන්තර්ගතය ගැනත් කියමුද?

අදටත් මහින්ද හිමියන් දැයට දායාද කළ කවි නිර්මාණ ජීවමානයි. එතරම්ම ජීව ගුණයක් එහි අන්තර්ගතයි. එහෙත් 6 ශ්‍රේණියෙන් ඉහළට පෙළ පොත්වලින් ළමුන් මහින්ද හිමියන්ගේ කවි ඉගෙන ගත්තත් ප්‍රාථමික අංශයේ දරුවන්ට කුඩා කාලයේදීම ඒ හිමියන්ගේ කවි රසවිඳීමට ඉඩ සැලසිය හැකි නම් ආකල්ප වර්ධනයේදී එය ඉතා වැදගත්. මෙතෙක් නොවුණු එහි ආරම්භයක් විදියටත් මා මේ නිර්මාණ සලකනවා. එතරම්ම පණ පිහිටුවා ළමයින්ගේ මට්ටමටම ඇවිත් මහින්ද හිමියන් කළ නිර්මාණ අද්විතීයයි.

‘හොඳ දේ හිතමි – හිතු දේ ලියමි
ලියු දේ පුදමි – පුදමින් විඳිමි’

මේ ආදී වශයෙන් රසවත්, ආදර්ශවත් ඒ නිර්මාණ අද ළමා සමාජයට පරිශීලනයට ඉඩ සැලසීම ජාතික වගකීමක්.

තවදුරටත් විස්තර කළොත්….

අද අපේ රටේ සිංහල බහුතරයක් දෙමළ දන්නේ නැහැ. දෙමළ බහුතරයක් සිංහල දන්නෙත් නෑ. රසවත්ව එකිනෙකාට ඒ භාෂා, සාහිත්‍යය ඉගෙනීමට මං නැති වීමත් ඊට හේතුවක්. විවිධ භාෂා ඉගෙනීමේදී සංගීතමය ප්‍රවේශයකින් ඊට පිවිසීමට අමෙරිකාව ආදී රටවල් පවා කටයුතු කළා. මේ සංයුක්ත තැටිය සහ කෘතිය හරහා සිංහල, දෙමළ භාෂා දෙකින්ම එය රසවිඳිමින් සංගීතය පිළිබඳ තරමක හැදෑරීමක නිරත වන්නටත් ස්වර ප්‍රස්තාපන ගීත ඇතුළත් මෙහි ක්‍රමවේදය ඉවහල් වෙනවා. සහන මිලට මෙදින කෘතිය මිලදී ගත හැකියි.

අපි දැන් මෙය දෙමළ සාහිත්‍යයට නැඟීම ගැනත් කියමුද?

රසවත්ව තේරවිලි ගී ආදියෙන් දෙමළ බසින් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවි රසය දෙමළ බසට නැඟීම තවත් අතකින් රසවත්ව දෙමළ බස ඉගෙනුමටත් අත්වැලක්.

‘කැලේ රජා කවුද යාළු
කැලේ රජා සිංහ යාළු…’

දෙමළ බස අපහසු අයකුට වුවත් සිංහල බසින් දෙමළ ගීයේ පදවැල සඳහන් කර තිබීම නිසා මේ නිර්මාණ ගායනා කරමින් රසවිඳීම අපහසු නැහැ. මේ ආදී වශයෙන් කෙටි බසින් රසවත්ව රූපකාර්ථ මැවෙන පරිදි සිංහල බසින් එන ඒ පදවැල් මියුරු සංගීතයත් සමඟ මුසු කරමින් එළිදැක්වූ මේ නිර්මාණ දරුවන්ට රස විඳින්නට දෙන්නැයි මම මවුපිය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 12ක පමණ වෑයමකින් පසුව මතු පරපුරේ හෙට දවස වඩා යහපත් කිරීම පිණිස සෞන්දර්ය ඒ ජීවිතවලට එකතු කිරීමේ අරමුණ ඇතිවයි මේ නිර්මාණය කළේ.

ඔබ මෙරට පාසල් පද්ධතියේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ දක්වන අදහස?

ඒ ගැන සෑහීමකට පත් වෙන්න අමාරුයි. සෞන්දර්ය විෂය ජාතික මට්ටමේ ඇගයීම්වලින් ඉවත් කිරීමටත් ඒ වෙනුවට පාසලෙන් අඛණ්ඩ ඇගයීම් සඳහා සෞන්දර්ය විෂයයන්ට ලකුණු දීමටත් යෝජනා වී තිබෙනවා. හැබැයි, ඒ ආදී විභාගවලින් ලකුණු අපේක්ෂාවෙන් වැඩි දෙනකු සෞන්දර්ය විෂයයන්වලට යොමු වෙන්නේ. ඒ අතුරෙන් සංගීතයට යොමු වෙන්නේ ඊටත් අඩු පිරිසක්. සංගීත ප්‍රසංගයක් පවත්වා එය සෞන්දර්ය අංගයක් වශයෙන් හැඳින්වූවත් එයින් සිසු දරු දැරියන්ට අත්වන යහපත ඉතා අවමයි. දරුවන්ගේ සංවේදී බවටත් ඔවුන්ට සහජීවනයෙන් යුතුව ජීවත් වීමටත් සෞන්දර්ය විෂයයන් අවශ්‍යයි.

සෞන්දර්ය විෂයයන් උගන්වන ගුරුවරුන් යාවත්කාලීන කිරීමක් දක්නට ලැබෙනවාද?

ඔව්. ඒත් එය ප්‍රමාණවත් සහ කාලීන නැහැ. අනෙක, සිංහල භාෂාවෙන් ඉගැන්වීමේ නිරත ගුරුවරුන්ට එතරම් හොඳ අවබෝධයක් දෙමළ පිළිබඳ නැහැ. දෙමළ ගුරුවරුන්ගේ සිංහල පිළිබඳ තත්ත්වයත් එසේමයි. මෙය නාගරිකව මෙන්ම ගම්බදවත් එහෙමමයි. ගුරු උපදේශකවරුන්ව පුහුණු කර ඉන් පසුව ගුරුවරුන්ට ඒ දැනුම, අවබෝධය දීමයි බොහෝ විට කෙරෙන්නේ. ඒත්, එයින් ඉක්මන්, යහපත් ප්‍රතිඵල අඩුවෙන් ලැබෙන්නේ. ඒ මිසෙක යාවත්කාලීන වීමක් එතරම් තවමත් ගුරු පුහුණුව අතින් දකින්න නැහැ. මේ සඳහා ගුරු උපදේශකවරුන් හරහා දෙන දුරස්ථකරණය වූ පුහුණුව වෙනුවට කෙළින්ම අදාළ ගුරුවරුන්ව පුහුණු කිරීමයි වැදගත් වෙන්නේ. දරුවන්ට සෞන්දර්ය අධ්‍යාපනය දීමේ ක්‍රමවේද අලුත් විය යුතු බවයි මෙතැනදී තවදුරටත් කියන්න තියෙන්නේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT