සාම්ප්‍රදායික පාස්කු නාට්‍ය කලාවෙන් ඔබ්බට ගොස් සිංහල බෞද්ධ සංස්කෘතික ආභාසයත්, කතෝලික නාට්‍ය කලාවේ එන සංගීතයත් ඉතා පරිස්සමින් යොදාගෙන අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යයක් ලෙස ‘මනුෂ්‍ය පුත්‍රයා’ වේදිකා නාට්‍යය සැලකිය හැකිය. මෙම මස 19 සහ 20 යන දෙදින තුළ සවස 4.00 සහ 7.00 කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී වේදිකාගත වන ‘මනුෂ්‍ය පුත්‍රයා’ නාට්‍යයේ නිර්මාණකරු නාට්‍යවේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සමඟ කළ කතාබහයි මේ.
‘මනුෂ්‍ය පුත්‍රයා’ බිහිවුණේ කොහොමද?
‘මනුෂ්‍ය පුත්‍රයා’ බිහිවන්නේ රචකයාගේ සහ මගේ යන දෙදෙනාගේම අරමුණ මුණගැසීම මතයි. මේ රචනය ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ විජිත් රොහාන් ප්‍රනාන්දු ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසකට කළ රචනයක්. ඒ තුළ වූ අරමුණ මගේ අරමුණ හා හොඳින් ගැළපුණා. මට අවශ්‍ය දෙයම ඔහු කාලයකට පෙර රචනා කර තිබුණා.
විජිත් රොහාන් මේ රචනය සඳහා පාදක කරගන්නේ බයිබලයේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ වූ මුල්ම කතාවයි. ක්‍රිස්තු උපත පිළිබඳ සඳහන් කතා මාලා 4ක් බයිබලය තුළ තිබෙනවා. එහි මාර්කොස් විසින් ලියනු ලැබූ කොටස ඔහුගේ රචනාවට පාදක කරගෙන තිබුණා. ක්‍රිස්තුන් වහන්සේ දිව්‍යගත වන කාලයේදී කුඩා දරුවකු වූ මාර්කොස් ඉන් වසර 60කට පසුව ක්‍රිස්තුස් සමීපයේ සිටි පුරුෂයන් සහ කාන්තාවන්ගෙන් ලබාගත් සත්‍ය තොරතුරු ඇසුරින් එය රචනා කර තිබෙනවා. අනෙක් කතාවල මෙන් ප්‍රබන්ධයන්ගෙන් තොරවීම සහ ආගමික බද්ධයක් නැතිව ක්‍රිස්තු චරිතය පැහැදිලි කිරීම මත එය තෝරාගෙන තිබුණා.
විශේෂයෙන්ම ආගමික ප්‍රබන්ධවලදී ක්‍රිස්තු චරිතය දෙවියෙක් වශයෙන් පෙන්වීමට කාන්තාවන් ඉවත් කර තිබෙනවා. ඒත්, ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය පුරා කාන්තාවන්ට උදව් උපකාර කළා. ඔහු වටා කාන්තාවන් සිටියා. උන්වහන්සේගේ මරණය අවස්ථාවේදී අනුගාමික පිරිමින් සියල්ල පලාගොස් සැඟවුණත් කාන්තාවන් තමයි ඉතිරි වුණේ. ඔහුගේ සිරුර පවා ඔසවාගෙන ගොස් මරණකරුට භාරදුන්නේ කාන්තාවක් බව කියවෙනවා.
මේවගේ දෙයක් නිර්මාණය කිරීමේ අරමුණ පිළිබඳ පැවසුවොත්?
අපි මේ නාට්‍යය වසරකට පෙර නිර්මාණය කළ එකක්. පසුගිය ජනඅරගයත් සමඟ සමාජ පරිවර්තනයක් සඳහා දේශපාලනය පිළිබඳ සක්‍රිය වුණා. ඒක ජනතාවගේ ඇතුළාන්තයෙන් ආ හැඟීමක් අනුව මිස ක්ෂණිකව සිදුවූවක් නොවෙයි. එවැනි දේශපාලනික පරිවර්තනයක් සිදුවන්නේ කෙසේද කියා අපිට නාට්‍යයක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා මීට වසරකට පෙර ‘මනුෂ්‍ය පුත්‍රයා’ නිර්මාණය වුණා. ඇත්ත වශයෙන්ම අද පවතින දේශපාලන වෙනස්කම ඇති කිරීම සහ අද පවතින දේශපාලන වෙනස පිළිබඳ මේ නාට්‍යයේ විග්‍රහ කෙරෙනවා.
ක්‍රිස්තු චරිතය වැනි රචනයක් තෝරාගත්තේ ඇයි?
ක්‍රිස්තු චරිතය සාම්ප්‍රදායික ආගමික ප්‍රබන්ධවලට වඩා වෙනස් වූ විප්ලවීය චරිතයක්. එදා පැවති පූජක පන්තිය සහ පාලක පන්තියට එරෙහිව නැඟී සිටීමට උන්වහන්සේට අවශ්‍ය වුණා. ඔහු ජීවිතය කැපකරන්නේ ජනතා සුබසිද්ධිය සඳහායි.
සමාජ වෙනසක් පිළිබඳ නාට්‍යයක් කිරීමට ඔබ අදහස් කළේ ඇයි?
වේදිකා නාට්‍යයක් කියන්නේ සජීවී මිනිසුන් සමඟ කෙරෙන ක්‍රියාවලියක්. ඒ වගේම ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලදී තාක්ෂණය යොදා ගන්නවා. ඒත්, වේදිකා නාට්‍යයේදී සියයට අනූවක් යොදාගන්නේ මනුස්ස ශ්‍රමයයි. ඒක මනුස්ස ශ්‍රමය සහ බුද්ධිය සමඟ යොදාගෙන කරන කලාවක්. ඒ නිර්මාණයේදී මනුස්සයකුට ඇති අවශ්‍යතා පිළිබඳ නාට්‍යකරුවාට ඉවක් දැනෙනවා.
කලාවට, පොතපතට, කවියට අද සමාජයේ වැඩි නැඹුරුවක් නැහැ. ඒවා පිරිහිලා ගිහින් නේද? ඒවගේ වකවානුවක වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි?
කලාව තමයි ජනතාවට සත්‍ය ජනගත කරන හොඳම මාධ්‍යය. සමාජයේ එදිනෙදා තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ කතා කරනවා. ඒත්, නාට්‍ය ඇතුළු කලා නිර්මාණ තුළින්, සමාජයේ වෙනස් විය යුත්තේ මොනවාද කියල කතා කරනවා. ඒත්, පහුගිය කාලය පුරා රාජ්‍ය නායකයන්, වගකිවයුත්තන් නාට්‍ය බැලුවේ නෑ. පාලකයන්ගේ රසඥතාව තිබුණේ බින්දුවටයි.
උසස් කලාකෘතියක් බුද්ධිමය ඥානය ලබාදෙනවා. ඒ තිබෙන්නේ මිනිසුන්ට ඥානය ලබාගන්නයි. එතකොට මිනිස්සු පවතින සමාජය වෙනස් කරනවා. පාලකයා ඒකට කැමැති නැහැ. මේ නිසා කලාව අද පවතින තත්ත්වයට පත් කළේ දේශපාලනඥයා සහ ඔහු සවිඥානිකව ඇති කළ දෙයක්. ඒක නැවත ගොඩනඟන්නට අපි පහුගිය කාලයේ ගත් උත්සාහය නිසා අද ඒ වෙනසට දේශපාලනය වෙනස් වී තිබෙනවා. ඒත්, ඒ තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා පුවත්පත් බලන, පොත් බලන, නාට්‍ය බලන සංස්කෘතියක් ඇති විය යුතුයි.
පොත්පත් මිල අඩුවිය යුතුයි. පොත් මිල වැඩියි කියන්නේම හිරගෙවල් පිරෙනවා කියන එකයි. මිනිස් ඥානය පිරිහෙනවා. මේ සඳහා සමාජය වෙනස් කළ යුතුයි. ඒ වෙනස කියන එක් නාට්‍යයක් තමයි මේ ‘මනුෂ්‍ය පුත්‍රයා’ බිහිකරන්නේ.
‘මනුෂ්‍ය පුත්‍රයා’ ආගමක් පිළිබඳ රචනයක් නොවෙයි. විප්ලවයක් පිළිබඳ කලා නිර්මාණයක්. ඒක ආගම්, ජාති භේදයකින් නැතිව සෑම කෙනෙකුටම රසවිඳින්නට හැකියි. ඒ වගේම බෞද්ධ, කිතුනු සහ මුස්ලිම් මේ සෑම ආගමක් කෙරෙහිම විවෘතව බලන්නට අපි පුරුදු වෙන්න ඕනෑ. එතකොට දේශපාලනඥයක්ට බෑ ඔවුන් අතර විරසකයක් ඇති කිරීමට. ඒ වගේම වෛරය මුල්කරගෙන නැවත රට පරිහානියට පත්කරන්නටත් නොහැකි වෙනවා.
නාට්‍යයට දායක පිරිස?
දසුන් නාලක ඩයස්, නදීශාන් දඹදෙණිය, ටිතිර උක්සිත, දනුක මාලින්ද, අදීෂ වේරපිටිය, ළහිරු සඳරුවන්, දුමිඳු විජේසිංහ, භවන්ත නුෂාන්, ඉමේෂ් අත්තනායක, දිල්හාර සමරවීර, එරාන් වික්‍රමනායක, මනුමිත් තොටලියනගේ, මනීෂ ආරියරත්න, පමුදිතා සඳමිණි, පාරමී භාග්‍යා, අමාලි දීපිකා, නවෝද්‍යා සංකලනි, නිපුනි සඳුනිකා, බුද්ධි අමරදිවාකර, බුද්ධිනි මහේෂිකා, නිශාන්ත කුමාර, ලක්මාල් රණරාජ, හසින්ත මදුමාල්, පූර්ණජිත් අනුරාධ, සඳුනි නවාංජනා, චානක රුක්ෂාන්, මනීෂ දුක්ගන්නාරාළ, උපුල් ආරියරත්න, ටිතිර උත්සිත සහ ඉමේෂ් අත්තනායක රංගනයෙන් දායක වෙනවා.
සංගීතය ළහිරු මාඩිවිල, ශබ්ද පරිපාලනය තාරුක සුගන්ධ, වේදිකා කළමනාකරණය තරිඳු ජයසිංහ, නිෂ්පාදන සහාය ගයාන් රන්දීර, අංග රචනය රන්දික ටිෂාන්, ආලෝකකරණය සංජීව ගුණරත්න සහ චතුර දහනායක, පසුතල නිර්මාණය සම්පත් පෙරේරා, වේදිකා සහ නිෂ්පාදන කළමනාකරණය සංජීව ගුණරත්නගෙනි.