Wednesday, March 26, 2025
Home » රනිල් ඇතුළු චූදිතයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් ක්‍රියාත්මක කරන්න
බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න:

රනිල් ඇතුළු චූදිතයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් ක්‍රියාත්මක කරන්න

යුක්තියේ කැඳවුම සාමූහිකය ආණ්ඩුවට බල කරයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

බටලන්ද කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු චූදිතයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු දඬුවම් ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන්නැයි යුක්තියේ කැඳවුම සාමූහිකය ආණ්ඩුවට බල කර සිටියි.

බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කිරීමෙන් එම නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා වන අධිකරණ බලය ලබා දීමට අවශ්‍ය කරන බහුතර බලය, ජනවරම ආණ්ඩුවට තිබෙන බව ඊයේ (13) මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවූ යුක්තියේ කැඳවුම සාමූහිකය වෙනුවෙන් අසංක අභයරත්න මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

පහුගිය 11 වැනිදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සභාගත කරන බවට නිවේදනය කළා. මීට කලින් මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. නමුත් බටලන්දෙ චූදිතයෙක් විදිහට ඉන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සාකච්ඡාවලදී කොතැනකදිවත් කියලා නැහැ මම බටලන්ද වධකාගාරයට සම්බන්ධ නැහැ කියලා. ඒ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ වෙනුවට ඔහු නීති තර්කණයක් ගේනවා. ඒ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත කරලා නැහැ කියලා.

වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත නොකිරීම ඒ නිර්දේශ ක්‍රියාවට නැංවීමට බාධාවක් වෙලා තිබෙනවා. එම නිර්දේශ ක්‍රියාවට නැඟීමේ අධිකරණ බලය හිමිවෙන්නේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කිරීමෙන් සම්මත කිරීමෙන් පසුවයි. දැන් මේ ජනවරම ඇතුළේ බරපතළ අපරාධ සහ මනුෂ්‍ය ඝාතන අතුරුදන් කිරීම්වලට අදාළව යුක්තිය ඉටුවීමේ දැවැන්ත ජනතා අභිලාෂයක් තියෙනවා. 87 සිට 89 දක්වා කාලය තුළ මේ රටේ සිදු වුණු පැහැර ගැනීම් වද හිංසා පැමිණවීම් මනුෂ්‍ය ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා වෙලා තිබෙනවා.

බටලන්ද වින්දිතයින්ට යුක්තිය සාධාරණය ඉටු කරනවා කියල තමයි 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය බලයට ආවේ. මේ කොමිෂන් සභා වාර්තාව 1995 සැප්තැම්බර් 20 වැනි දා ආණ්ඩුවට භාරදිය යුතු බවට නියෝගයක් නිකුත් කරලා තිබුණත් අවස්ථා දොළහකදී මේ වාර්තාව ආණ්ඩුවට ඉදිරිපත් කරන එක කල් දමා තිබුණා. කොමිසම සාක්ෂි ප්‍රකාශ සටහන් කරගන්න රැස්වූ අවස්ථාවේ සාක්ෂිකරුවන් 82ක් මේ කොමිසම හමුවට කැඳවලා තියෙනවා. මේකට චෝදනා ඉදිරිපත් වෙලා තියෙන අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ දී රනිල් වික්‍රමසිංහ, ජෝසප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල දේශපාලන නායකයන් මේ කොමිසම හමුවට කැඳවා ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ කොමිෂන් සභා වාර්තාවේ හෙළිදරව් වෙලා තියෙනවා සපුගස්කන්ද පොහොර සංකීර්ණයට අයිති බටලන්ද නිවාස සංකීර්ණයේ A2/2 නිවස 1983 සිට 1994 අගෝස්තු මාසය දක්වා රනිල් වික්‍රමසිංහ තමන් දැරූ යෞවන කටයුතු හා රැකී රක්ෂා ඇමැතිවරයාට භාරව සංචාරක බංගලාවක් ලෙස භාවිත කර තිබෙන බව. B1, B7, B8 යන නිවාස රනිල් වික්‍රමසිංහගේ නිල කාර්යාල බවටත් ඒ වගේම ඔහුගේ නිලධාරින් රැඳී සිටි ස්ථාන බවටත් මේ කොමිසමේදී පැහැදිලිවම අනාවරණය වෙලා තිබෙනවා.

වැදගත්ම කාරණය වන්නේ මේ කොමිසම මඟින් නිර්දේශ කළේ කුමක්ද යන්නයි. මෙම නිර්දේශ ඇතුළත් කිරීමේදී නොවැළැක්විය හැකි ලෙස නිගමනයක් සඳහන් කර තිබෙනවා. එම නිගමනය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අවම වශයෙන් කියොතොත් B2 නිවාසය ඉහත සඳහන් නීති විරෝධී ක්‍රියා සඳහා භාවිත කර තිබේ යන්න මෙම කොමිසමේ නිර්දේශ කර තිබෙනවා. රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවට මෙමඟින් හඳුනාගෙන තිබෙනවා. වගකිවයුත්තන්ට එම චූදිතයන්ට ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමේ සිට නිර්දේශ කර ඇති සුදුසු දඬුවම් ලබා දෙන්න අධිකරණයට බලය හිමි වෙන්නේ මේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව. මේක දිගින් දිගටම යට ගහගෙන හිටියේ මේ නීති තර්කණය සහ ව්‍යවස්ථාපිත හිඩැස නිසා. මේ අපරාධකාරී වගකිවයුත්තන් ගැන පසුගිය ආණ්ඩු දිගින් දිගටම වගකීම් පැහැර හැර තිබෙනවා.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නිර්දේශ ක්‍රියාවට නැංවීම හරහා රටක් වශයෙන් ජනතාව වශයෙන් අපිට මොනවද තිබෙන වැදගත්කම. පහුගිය දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය ක්‍රියාත්මක වුණා. සෑම වසරකම ජිනීවාහි මානව හිමිකම් කොමිසම රැස්වෙලා ලංකාවට අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමේදී එම වාර්තාවේ සඳහන් වුණේ ලංකාව කියන්නේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පිටුදැකපු රාජ්‍යයක් කියන එකයි. බරපතළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම සහ ඒවා නැවත සිද්ධ නොවීම සඳහා වගබලා ගැනීමේ යන්ත්‍රණය වගවීමේ යන්ත්‍රණයට ශ්‍රී ලංකා රජය දිගින් දිගටම අසමත් වෙනවා කියලා පහුගිය වාර්තා අධීක්ෂණය කිරීමෙන් පෙනී යනවා.

මේ බරපතළ ගණයේ මනුෂ්‍ය ඝාතන අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් බටලන්ද කොමිසමේ නිර්දේශ සම්මත කර ක්‍රියාත්මක කිරීම හරහා ජාත්‍යන්තරයට එක් පැත්තකින් තහවුරුවක් ලැබෙනවා ලංකාවේ සිද්ධ වෙලා තිබෙන දේශපාලන වෙනස ජනතා අභිලාෂය ඒ යුක්තිය සාධාරණත්වය පිළිබඳ බලාපොරොත්තු ඉෂ්ට වෙන සංඥාව ඔවුන්ට ලැබෙනවා. ඒක ජාත්‍යන්තර වශයෙන් රටකට ආණ්ඩුවකට වගේම ජනතාව වශයෙන් අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේ අපරාධවලට ගොදුරු වුණු වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් අවුරුදු තිස්පහක් විතර මේක අත්නොහැර මේ වෙනුවෙන් යුක්තිය සාධාරණය බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඒ අයගේ පවුල්වල ඥාතීන් සමීපතමයන් වින්දිතභාවයට ලක් වූ අයගේ දෙමාපියන් අද සමහරු ගොඩක් අය ජීවතුන් අතර නැති වුණත් තවත් බොහොම අය වයස්ගතව සිටිනවා.

බටලන්ද කොමිසමේ නිර්දේශ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරලා එම නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා වන අධිකරණ බලය ලබාදෙන්න අවශ්‍ය කරන බහුතර බලය ජන වරම ආණ්ඩුවට තිබෙනවා. එක පැත්තකින් හිතන්න පුළුවන් මේ ආණ්ඩුව ප්‍රතිවාදීන්ගෙන් පළිගන්නවාද කියන කාරණය. නමුත් අපි පැහැදිලිවම කියනවා මේක පළිගැනීමේ චේතනාවක් මත සිදු කරන දෙයක් නොවේ. ජනාධිපති කොමිෂන් සභා නිල වාර්තාවක නිර්දේශ ක්‍රියාවට නැඟීමක්. ඒකට අධිකරණමය බලය ලබාදීමක්. රටේ නීතිය පාලනය ස්ථාපිත කිරීම බිඳවැටිලා තිබුණු නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමක්. අනෙක් පසින් අපරාධ සහ මනුෂ්‍ය ඝාතන අතුරුදන් කිරීම් සම්බන්ධ චූදිතයෝ දිගින් දිගටම අපේ රටේ නිදහස් වෙනවා.

එහෙම ඉතිහාසයක් අපට තිබෙනවා. ඒ දණ්ඩ මුක්තිය අවසන් කිරීමට ලැබීම රටටත් ජාත්‍යන්තර වශයෙනුත් මනුෂ්‍ය සමාජයක් වශයෙනුත් අපට හොඳ අවස්ථාවක් වෙනවා. බටලන්ද කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යුක්තිය කැඳවමු. ඒ වෙනුවෙන් පෙනී සිටිමු.

ඡායාරූපය – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT