රංගන ජීවිතය දේශපාලනයට භාවිත කර යුක්රේනය අඳුරට තල්ලු කළ විකට නළුවා
ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වාග් සංග්‍රාමයක පැටලීමත්, අමෙරිකාව ඉදිරිපත් කළ දින 30ක සටන් විරාම යෝජනාවට කැමැත්ත පළ කිරීමත් හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩිපුර අවධානය යොමුවී ඇත්තේ යුක්රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි වෙතය. 47 හැවිරිදි යුක්රේන නායකයා ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත් වූයේ ද ලෝක බලවතකු ලෙස අමෙරිකාව හා සම තත්ත්වයේ පසුවන රුසියාවට එරෙහිව යුද වැදීමෙන් පසුවය.
යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිරට සෙලෙන්ස්කි වීරයකු බවට පත්වෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් දුෂ්ටයකු බවට පත්විය. දේශපාලන හා ආර්ථික වශයෙන් කවදත් බටහිර රටවල ප්‍රබලතම ප්‍රතිවාදියා වන රුසියාවට එරෙහිව අවි එසවීමත් සමඟ සෙලෙන්ස්කි පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට සමත්වුවද, රුසියාව පරාජය කිරීමට යුක්රේනයට නොහැකි බව ජාත්‍යන්තරය හොඳින්ම දැන සිටියේය. කෙසේ වෙතත් වසර 3කට අධික කාලයක් රුසියාවට යටත් නොවී යුද්ධය පවත්වාගෙන යෑමට සෙලෙන්ස්කි සමත්වීම බොහෝ රටවල විමතියට කරුණකි. භූමියේ වපසරිය අතින් පමණක් නොව සියලු සාධක අතින් රුසියාව හමුවේ ලිලිපුට්ටකු වන යුක්රේනය යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටින්නේ අමෙරිකාව සහ යුරෝපයේ මූල්‍ය සහ හමුදා සහාය ලැබීම හේතුවෙනි. නොඑසේ නම් රුසියාව හමුවේ යුක්රේනය දණගසා අවසන්ය.
72 හැවිරිදි රුසියානු නායකයා සහ සෙලෙන්ස්කි අතර වයස් පරතරය අවුරුදු 25කි. එය දෙදෙනා අතර වයසින් පමණක් නොව දේශපාලන දැනුම සහ ඉන් ඔබ්බට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය ඇතුළු සාධක ගණනාවක පරතරයකි. ව්ලැදිමිර් පුටින් රුසියාවේ ජනපති ධුරයට පත්වූයේ දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික හැසිරීම සම්බන්ධව හසළ දැනුමක් සහිතවය. ඔහුගේ පියා පරිගණක විද්‍යා මහාචාර්යවරයකු වුවද, මව ඉංජිනේරුවරියක වුවද, නළුකම හැරෙන්නට අන් කිසිදු දක්ෂතාවක් නොතිබූ සෙලෙන්ස්කි යුක්රේනයේ ජනපති ධුරයට පත්වන විට එරට ප්‍රකටව සිටියේ ප්‍රහසන නළුවකු ලෙසටය. පුදුමය වන්නේ කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති මේ ප්‍රහසන නළුවා යුක්රේනයේ ජනපති ධුරයට පත්වීමය.
නළුවන් දේශපාලනඥයන් බවට පත්වීමේ සිදුවීම් ලෝක දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් සඳහන් වුවද, ජනාධිපති ධුරයට පත්වූ නළුවකු පිළිබඳ ඊට පෙර වාර්තා වූයේ අමෙරිකාවෙන් පමණි. අසූව දශකයේ මුල් භාගයේදී අමෙරිකාවේ 40 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූ රොනල්ඩ් රේගන් හිටපු හොලිවුඩ් නළුවෙකි. 30 දශකයේ අග භාගයේදි චිත්‍රපට නළුවකු බවට පත්වූ රේගන් එරට ජනපති ධුරයට පත්වූයේ දශක 3ක දේශපාලන අත්දැකීම් ගොන්නක් ද අතැතිවය. හෙතෙම 1966 දී කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් දේශපාලනය වපසරිය තුළින් අත්දැකීම් සම්භාරයක් ලබාගත් අයෙකි.
සෙලෙන්ස්කිට එවැනි දේශපාලන පරිචයක් නොතිබිණි.
2019 මාර්තුවේදී ‘සර්වන්ට් ඔෆ් ද පීපල්‘ පක්ෂය නියෝජනය කරමින් යුක්රේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සෙලෙන්ස්කි හිටපු ජනාධිපති පෙට්‍රො පොරොෂෙන්කෝ 50%ක ඡන්ද ප්‍රතිශතයකින් පරාජයට පත් කිරීමට සමත් වූයේ 75%ක දැවැන්ත ජයග්‍රහණයකිනි.
2017 වසරේදි ආරම්භ කළ ‘සර්වන්ට් ඔෆ් ද පීපල්‘ පක්ෂයේ සභාපතිවරයා ද සෙලෙන්ස්කි ය. එය ඊට පෙර යුක්රේනයේ පැවැති ඩිසිසිව් චේන්ජ් පක්ෂය ප්‍රතිසංස්කරණයක් තුළින් බිහි වූවකි. සර්වන්ට් ඔෆ් පීපල් පක්ෂය බිහි වූයේ සෙලෙන්ස්කි විසින් රංගනයෙන් දායක වූ ‘සර්වන්ට් ඔෆ් පීපල්‘ රූපවාහිනී වෘතාන්ත චිත්‍රපට මාලාවෙන් ලද අසීමිත ජනප්‍රියත්වය තුළිනි. සෙලෙන්ස්කි 2019 දී යුක්රේන ජනාධිපතිවරණය ජයගත්තේද, වසර අවසානයේ මහමැතිවරණය ජයගත්තේ ද මේ චිත්‍රපටමාලාවට පින්සිදු වන්නටය.
ප්‍රහසන නළුවා
‘සර්වන්ට් ඔෆ් පීපල්‘ ප්‍රහසනාත්මක දේශපාලන රූපවාහිනි චිත්‍රපට මාලාව වසර 2015 සිට 2019 දක්වා කාලය තුළ යුක්රේනයේ ඉහළම ජනප්‍රියත්වයට පත්වූ අතර, සෙලෙන්ස්කි එහි රඟපෑවේ යුක්රේනයේ දූෂිත දේශපාලනයට එරෙහිව අරගල කරන උසස් විදුහලක ඉතිහාස ගුරුවරයකුගේ භූමිකාවය. එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරණයට තරග වදින ඉතිහාස ගුරුවරයා යුක්රේනයේ ජනපති ධුරයට පත්වී දූෂණය හා වංචාව මුලිනුපුටා දමන ආකාරය ඊට පාදක වී තිබිණි. එහි නිෂ්පාදකයා ද ඔහු විය.
‘සර්වන්ට් ඔෆ් පීපල්‘ නොඑසේ නම් ජනතාවගේ සේවකයා රටේ ජනපති කරවීමට යුක්රේන ජනතාව සිය ඡන්දය භාවිත කරන්නට ඇත්තේ චිත්‍රපට මාලාවෙන් විදහා දැක්වූ ක්‍රියාදාමය සැබෑ ජීවිතයේදී ඔහු විසින් යථාර්ථයක් බවට පත් කරනු ඇතැයි අපේක්ෂා කරමින් වන්නට ඇත. එහෙත් සිදුවූයේ අනෙකකි. මේ ප්‍රහසන නළුවා පුටින්ගේ බළකොටුවට අභියෝග කිරීම කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමකි.
1991 දී සෝවියට් දේශය බිඳ වැටෙද්දී සෙලෙන්ස්කි අවුරුදු 13ක කොලු ගැටයෙකි. ඔහුට සිය රංගන සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව උදා වූයේ පශ්චාත් සෝවියට් යුගයේදී ජනතාව ලද ලිබරල්වාදී සමාජ පසුබිමක් නිර්මාණය වීම හේතුවෙනි. ඔහු යුක්රේනයේ වෘත්තීමය ප්‍රහසන නළුවකු බවට පත්වූයේ එලෙසිනි.
කැමරාව අබියස රටේ ජනාධිපති වූ විකට නළුවා ඊළඟ ජනාධිපතිවරණයට තරග වදින බවට නිවේදනය කළේ එම චිත්‍රපටමාලාව අවසන් වීමටත් පෙරය. එහෙත් ඔහුට කිසිදු දේශපාලන අත්දැකීමක් නොතිබිණි. දේශපාලනයට අවශ්‍ය අත්දැකීම් නොව උදාර මානව හිතවාදීත්වය පමණක් බව කියමින් දේශපාලනයට පිවිසි ඔහු ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු දෙකක් දී තිබිණි. පළමුවැන්න සිය චිත්‍රපටමාලාවේ සිදු කළ ආකාරයෙන්ම යුක්රේනයේ දූෂිත දේශපාලනය අවසන් කිරීමය. අනෙක ඒ වනවිටත් අර්බුදයක් බවට පත්වී තිබූ ඩොන්බාස් කලාපයේ යුද්ධය නිමා කිරීමය.
ජනපති භූමිකාව
ඒ වන විට නැඟෙනහිර යුක්රේනයේ පිහිටි කුඩා කලාපයක් වන ඩොන්බාස් ප්‍රාන්තයේ බෙදුම්වාදී කණ්ඩායමක රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සිදුවෙමින් පැවතිණි. එය ආරම්භ වූයේ වසර ගණනාවකට පෙරය. රුසියානු හිතවාදී ඩොන්බාස් කැරලිකරුවන් සහ යුක්රේන හමුදා අතර යුද ගැටුම් ව්‍යාප්ත වීම සම්බන්ධව යුක්රේන රජයේ චෝදනා එල්ල වූයේ රුසියාවටය. ඔහු බලයට පත්වූ විගස ඩොන්බාස් අර්බුදයට මැදිහත්වීමත් සමඟ යුක්රේනය සහ රුසියාව අතර යුද ගැටුමට අඩිතාලම වැටුණු බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.
එහෙත් ඔහු පොරොන්දු වූ පරිදි ඩොන්බාස් අර්බුදයට විසඳුම් නොලැබිණි. ඒ වෙනුවට සිදුවූයේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම අර්බුදය නිර්මාණය වීමය. රුසියාවට අත නොතබන ලෙස ලැබුණු දේශපාලන උපදේශකයන්ගේ අවවාද ඔහු සැලකිල්ලට නොගත්තේය. රංගන ජීවිතයෙන් ඉස්මතුවූ වීරයා සැබෑ ජීවිතයේදීත් ඉස්මතු විය. ඔහු පුටින්ට අභියෝග කළේය. වසර 2000 සිට 2008 දක්වාත්, 2012 සිට අඛණ්ඩව මේ දක්වාත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පමණක් නොව ලෝක බලවතුන් අතර ඉදිරිපෙළ නායකයකු ලෙසත් ජාත්‍යන්තරය තුළ ශක්තිසම්පන්න ප්‍රතිරූපයක් ගොඩනඟාගෙන සිටි පුටින්ගේ උදහසට ලක්වීම සියතින්ම ගෙල සිඳ ගැනීමක් බව අවබෝධ කරගැනීමට ප්‍රමාණවත් දේශපාලන පසුබිමක් නොතිබුණු සෙලෙන්ස්කි අවසානයේදී යුක්රේනය මුළුමනින්ම යුද පිටියක් බවට පත් කළේය. ලොව පුරා රාජ්‍ය නායකයෝ සෙලෙන්ස්කිගෙන් ඉල්ලා සිටියේ යුද ගැටුමකට යෑමෙන් වළකින ලෙසටය. එහෙත් ඒ වෙනුවට සෙලෙන්ස්කි ජාත්‍යන්තරයෙන් හමුදා ආධාර ඉල්ලා සිටියේය.
වසර 2022 පෙබරවාරියේදී ඩොන්බාස් කලාපය ස්වාධීන රාජ්‍යයක් බවට රුසියාව නිල වශයෙන් නිවේදනය කිරීම දක්වා දුර දිග ගියේය. ඒ සඳහා එම කලාපයට අවශ්‍ය හමුදා සහාය ලබාදීමට සිය හමුදා කණ්ඩායමක් පිටත් කරන බවට පුටින් නිවේදනය කළ අතර, පුටින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය අවසන් කිරීමට සෙලෙන්ස්කි පියවර ගත්තේ නම් යුක්රේනයේ ඉරණම වෙනස් වන්නට ඉඩ තිබූ බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහස ය. චතුර කථිකයකු වූ සෙලෙන්ස්කි එම කාලය තුළ දෛනිකව රූපවාහිනියෙන් ජනතාව ඇමතුවේය. ‘සර්වන්ට් ඔෆ් පීපල්‘ චිත්‍රපට මාලාවේ දෙබස් යළි යළිත් උච්චාරණය කරමින් යුද්ධය දක්වා රුසියාව තල්ලු කළේය. යුද්ධය ආරම්භ වූ අතර, 6 වැනි දිනයේදී ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව ඇමතුවේය.
‘ඔබ සියලුදෙනා අප සමඟ සිටින බව ඔප්පු කරන්න. අපිව අත්හරින්නේ නෑ කියලා තහවුරු කරන්න..‘ සෙලෙන්ස්කි යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් හමුවේ බැගෑපත් වූ අතර, දේශපාලන විචාරකයන් එය හඳුන්වනු ලැබුවේ චාලි චැප්ලින් වින්ස්ටන් චර්චිල්ට ඇඳීමක් හැටියටය. එතැන් සිට දිනපතා මාධ්‍ය හමුවක් පැවැත්වීම, යුද කලාපයේ සංචාරය කරන වීඩියෝ පට මුදා හැරීම, හමුදා සෙබළුන් සමඟ එක්ව ආහාර ගැනීම සහ ලොව පුරා පාර්ලිමේන්තු ඇමතීම වැනි ඔහුට ප්‍රතිරූපයක් ගොඩනඟා ගත හැකි සියලු ආකාරවලින් සෙලෙන්ස්කිගේ දෛනික ජීවිතය ගෙවී ගියේය. ඔහු ලොව පුරා කෙතරම් ජනප්‍රියත්වයට පත්වූයේ ද යත් ඇතැම් විචාරකයන්ට අනුව එම ජනප්‍රියත්වය ජෝ බයිඩ්න් ද අබිබවා ගොස් තිබිණි.
ට්‍රම්ප් සමඟ වාග් සංග්‍රාමය
ප්‍රහසන නළුවකු ලෙස ජනතාවගේ හදවත් දිනා ගැනීමේ මන්ත්‍රය සෙලෙන්ස්කි හොඳින්ම ප්‍රගුණ කර තිබිණි. ඔහු ලෝක නායකයන්ගේ සිත් දිනා ගැනීමට සිය රංගන ජීවිතයේදී භාවිත කළ සටකපටකම් සියල්ල අත්හදා බැලුවේය. එහෙත් එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිත දිනා ගැනීමට ප්‍රමාණවත් නොවීය. ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වාග් සංග්‍රාමයට හේතු වූයේ සෙලෙන්ස්කිගේ එම ප්‍රයෝගකාරී කතාව අමෙරිකානු ජනාධිපතිවරයා නොරිස්සීම හේතුවෙනි. පසුව සෞදි අරාබියේදී පැවැති අමෙරිකානු නියෝජිතයන් හා යුක්රේන නියෝජිතයන් අතර සාකච්ඡාවෙන් පසු සටන් විරාමයකට ඔහු එකඟතාව පළ කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් කෝප ගැන්වීම පුටින්ගේ උදහසට ලක්වීමට වඩා බරපතළ බව අවබෝධ කරගැනීම හේතුවෙනි.
සෙලෙන්ස්කි මුහුණපෑවේ රංගන ජීවිතයේදී ජනතාව අතර වීරයකු බවට පත්වන බොහෝ නළුවන්ට සැබෑ ලෝකයේ අත්වන ඉරණමටය. කැමරාව ඉදිරියේ වීරයා වීම හුදෙක් ෆැන්ටසියක් පමණකි. සෙලෙන්ස්කි එය සැබෑ ජීවිතයට ආරෝපණය කරගැනීමට යෑමෙන් සිදුවූයේ ඔහුට පමණක් නොව යුක්රේන ජනතාවටම නොපැතූ යුද්ධයකට මැදිවීමටය. එය යුක්රේනයට පමණක් නොව මුළු ලොවටම පොදු කාරණාවකි.