Wednesday, March 26, 2025
Home » අලි-මිනිස් ගැටුමටත් කඩිනමින් විසඳුම් සකස් කළ යුතුයි

අලි-මිනිස් ගැටුමටත් කඩිනමින් විසඳුම් සකස් කළ යුතුයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

අලි – මිනිස් ගැටුම පිළිබඳ ජනමාධ්‍ය මඟින් දිනපතාම ප්‍රවෘත්ති වාර්තා වෙයි. වන අලි පහරදීම් නිසා මිනිසුන් මියයෑම පිළිබඳව ද දේපළ හා වගා හානි සිදු කිරීම පිළිබඳව ද මිනිසුන්ගේ විවිධ උගුල් ඇටවීම් නිසා සහ දුම්රියේ හැපීම හේතුවෙන් වන අලින් මරුමුවට පත්වීම පිළිබඳව ද ප්‍රවෘත්ති ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම පිළිබඳ සිදුවීම් දෙවැනි වන්නේ මහමඟ රිය අනතුරුවලින් සිදු වන මරණවලට පමණකි. අගනුවරින් ඈත වගා බිම් ආශ්‍රිත ප්‍රදේශවල සහ වියළි කලාපීය ප්‍රදේශවල මේ ගැටලුව ඉතා බරපතළ ලෙස හඳුනා ගැනීමට ලැබේ. මේ ගැටලුවට විසඳුම් සොයාගැනීම සඳහා දැනට දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා, සම්මන්ත්‍රණ, සමුළු, වැඩමුළු පැවැත්වුව ද ඉන් අත්වූ සුගතියක් නම් නැත.

ලෝකය පුරා මිනිසුන් සහ අලි – ඇතුන් අතර පවතින සබඳතාව වසර දස දහස් ගණනක් ඈතට දිව යන අතර, එය එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට බැඳී පවතියි. අලි-ඇතුන් යනු සංචාරක ආකර්ෂණය දනවන උපායමාර්ගයක් ද වේ. ජාතික උත්සව හා පෙරහරවලදී ධාතූන් වහන්සේ වැඩමවීමේ ගෞරවනීය කාර්යයට ද අලි – ඇත්තු යොදා ගැනෙති.

අලි – මිනිස් ගැටුම පිළිබඳ සමාජීය, පාරිසරික ගැටලුව විසඳීමේදී ඒ දෙස ද්විපාර්ශ්වික දෘෂ්ටිකෝණයෙන් බැලිය යුතු ය. පළමුවැන්න: මිනිසුන්ගේ දෘෂ්ටිකෝණයෙනි. දෙවැන්න: පාරිසරික සම්පතක් වන අලි-ඇතුන්ගේ දෘෂ්ටිකෝණයෙනි. කෙසේ වෙතත් මේ සඳහා විසඳුම් සකස් කිරීමේදී එක් පාර්ශ්වයකට සාධාරණය ඉටු කරනවිට අනෙක් පාර්ශ්වයට අසාධාරණයක් සිදු වීම නිරීක්ෂණය කළ හැකි කරුණකි. එබැවින් මේ සඳහා සමබර ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ.

අලියා යනු මහා පරිමාණ ශාක භක්ෂක සත්ත්වයකු වන අතර, සාමාන්‍යයෙන් දිනකට කි.ග්‍රෑ. 150ක පමණ ආහාර ප්‍රමාණයක් සහ ජලය ලීටර් 190ක පමණ ප්‍රමාණයක් අලියකුට අවශ්‍ය වේ. මේ ආහාර හා ජලය සොයා තැනින් තැනට දෛනිකව ඇවිද යෑමට වන අලියකුට සිදු වේ. මේ වන විට අලින්ට අයිති නිජබිම් රැසක් මිනිසුන් විසින් විනාශ කර, සංවර්ධනය කොට ඒවායේ පදිංචි වී ඇති බැවින් ස්වකීය වාසස්ථාන අහිමි වීමේ ඛේදවාචකයට ද එම සතුන් මුහුණ දී සිටියි. එවිට ආහාර සහ ජලය සොයා, ගම්වැදීම හැර කළ හැකි අන් යමක් අලින්ට නැත. අනෙක් අතට, මහා පරිමාණ සංවර්ධන ක්‍රියාවලියකදී වනාන්තර හෙළි කිරීම හැර වෙනත් යථාර්ථයක් තවමත් අප ඉදිරියේ නැත. එවැනි ක්‍රියාවලියකදී වාසස්ථාන අහිමි වන සියලු වන සතුන්ට අභය භූමි සකස් කිරීමේ ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වනුයේ මේ හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ අවසාන වරට අලි සංගණනයක් සිදු කර ඇත්තේ 2011 වසරේදී ය. ඒ වාර්තාව අනුව: මෙරට සිටින අලි-ඇතුන් සංඛ්‍යාව 5,879කි. 2024 වසරේදී අලි සංගණනයක් සිදු කොට ඇතත්, එහි ප්‍රතිඵල තවමත් නිකුත් කොට නැත. ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලියකට දත්ත අවශ්‍ය හෙයින් එකී සංගණන දත්ත මේ මොහොතේ අතිශය වැදගත් වේ. වගා හානි පිළිබඳ සතුන් සංගණනය ද හාස්‍යයට ලක් කොට ඇත්තේ මෙවන් පසුබිමකදී ය.

2024 වසරේදී විවිධ හේතු නිසා අලි-ඇතුන් 388ක් මරණයට පත්ව ඇති අතර, අලි ඇතුන්ගේ පහරදීම් හේතුවෙන් 155 දෙනකු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති දත්තවල සඳහන් වේ. එමෙන්ම මෑත කාලයේ දුම්රියේ ගැටීම නිසා සිදු වන අලි මරණ ගණන ද ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා වර්තමාන පරිසර අමාත්‍යාංශය කිසියම් ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වාර්තා විය.

අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ අලි ගහනය වර්ධනය වීම නිසා වාසස්ථාන අහිමි වීම, මිනිස් ජනගහනය වර්ධනය වීම නිසා භූමි ප්‍රදේශ ප්‍රමාණවත් නොවීම, අලින්ගේ වාසභූමි මිනිසා විසින් ආක්‍රමණය කිරීම, අලි-ඇතුන් ආහාර සොයා කෘෂිකාර්මික භූමි ප්‍රදේශවල වගා හානි කිරීම යනාදි කරුණු වෙයි. මේ නිසා අලි මරණ ද, මිනිස් මරණ ද සිදු වී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

මේ නිසා අලි-මිනිස් ගැටුම කඩිනමින් අවසන් කිරීමට අදාළව නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාලය පැමිණ තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික අලි සංරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම එහි එක් පියවරකි. වන අලි සංරක්ෂණ ප්‍රදේශ ස්ථාපිත කිරීම, විදුලිවැට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, වන අලින් පලවාහැරීමට ක්‍රමවේද සකස් කිරීම, වන අලින් සඳහා අභයභූමි සකස් කිරීම, ගොවීන්ට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කිරීම, වගා හානි සඳහා වන්දි ගෙවීම ඒ අතරින් පියවර කිහිපයකි.

අලි – ඇතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ පාරිසරික සංවිධාන ද ගොවීන්ගේ හා මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ මානව හිමිකම් සංවිධාන ද මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කොට තිබේ. විටින්විට බලයට පත් වූ විවිධ රජයන් ද ඒ සඳහා විවිධ ප්‍රතිපත්ති, සැලසුම් ක්‍රියාවට නංවා කමිටු වාර්තා සකස් කොට ප්‍රතිපත්ති ද මුද්‍රණයෙන් එළිදක්වා තිබේ. එහෙත් දිගින් දිගටම අලි-මිනිස් ගැටුම සිදු වෙමින් පවතියි. එහි අතුරු ඵලයක් ලෙස මිනිස් ජීවිත මෙන් ම අලි-ඇතුන්ගේ ජීවිත ද අහිමි වෙමින් පවතියි.

යහපත් පාරිසරික සමතුලිත පැවැත්මක් සඳහා අලි – ඇතුන්ගේ පැවැත්ම මෙන් ම මිනිස් ජීවිතවල පැවැත්ම ද අත්‍යවශ්‍ය කාරණයක් වන අතර, රටකට සංවර්ධන සැලසුම් මෙන් ම වන සතුන්ගේ පැවැත්ම ද අත්‍යවශ්‍ය කාරණයකි. මේ නිසා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී වන අලින්ගේ වාස භූමි සහ සංචරණ රටා සැලකිල්ලට ගතයුතු අතර, වන අලින් සහ ඇතුන්ගෙන් සංවර්ධන කටයුතුවලට හා සංවර්ධන කටයුතුවලින් අලි ඇතුන්ට එල්ල වන බලපෑම අවම කිරීමේ ක්‍රමවේදයක් ද අත්‍යවශ්‍ය වේ.

එසේ නැතිව මේ ආකාරයට ගියහොත්, වසර 2040 වන විට හීලෑ අලි-ඇතුන් සංඛ්‍යාව 10 දක්වා අඩු වන බවට පරිසරවේදීහු අනතුරු අඟවති. වන අලි සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩු වනු ඇත.

මේ නිසා අලි-මිනිස් ගැටුමට නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කළහොත් අනාගතයේ පෙරහරවල කරඬුව වැඩමවීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදු වනු ඇත. අනාගත පරපුරට අලි-ඇතුන් පිළිබඳ නිදර්ශන පෙන්වීමට සිදු වනුයේ ඡායාරූපවලින් හෝ දළදා මාලිගාවේ ඇති පුළුන් පුරවා සංරක්ෂණය කරන ලද රාජා හස්තියාගෙන්ම පමණකි.

එබැවින් අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා නිශ්චිත, විධිමත්, කල්පවතින, ස්ථිරසාර ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන්නේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT