Tuesday, March 25, 2025
Home » පේරාදෙණියේ අපූර්වත්වය ප්‍රේමය විතරම ද?

පේරාදෙණියේ අපූර්වත්වය ප්‍රේමය විතරම ද?

Kiosk අවන්හලට ඔබත් පැමිණ වෙනස අත්විදින්න

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

බුද්ධිකා බ්‍රාහ්මණගේ

එහි අපූරු දෑ බොහෝය. බුද්ධිමතුනට තෝතැන්නක් සේම ජීවිතයේ සොඳුරුතම යෞවනය අධ්‍යාපනය වෙනුවෙන් කැපකරන්නන්ගේ නවාතැනකි. එපමණක් නොවේ, දැන් එය ව්‍යවසායකයන්ට තිඹිරිගෙයක් සදමින් තිබේ.

ගලහ හන්දිය පසුකරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පිවිසෙනවිට ගතට මෙන්ම සිතට ද දැනෙන්නේ සුවදායී බවකි. ඓතිහාසික වටිනාකමකින් යුත් පේරාදෙණිය තැපැල් කන්තෝරුව සමීපයෙන් දිවෙන විශ්වවිද්‍යාල මාවත ඔස්සේ පයින්ම ගමන් කිරීමට සිත්විය. එසේ ඉදිරියට ගියේ පශු වෛද්‍ය පීඨයට අයත් සත්ත්ව රෝහල පිහිටි මාවත හමුවන තෙක්ය. ඒ මාවතේ මඟසලකුණක් විය. ඒ Kiosk ආපණශාලාව පිළිබඳ පුවරුවයි. පුවරුව ඇති මංසන්ධියෙන් හැරුණුවිට මඳ පල්ලමකි. එය අවසන් වෙන්නේ දකුණු පැත්තේ ඇති පශු රෝහලෙනි. ඒ පසට නොහැරී දිගටම යායුත්තේ යාන්තමට කඳු පාරකිනි. එය පසුකළ විට නැවතත් පල්ලමකි. පල්ලමේ කෙළවර වම්පස දෙමහල් ගොඩනැඟිල්ලකි. එය ආසන්නයට යනවිට නැවතත් kiosk යනුවෙන් සදහන් වර්ණ ධජ ලෙළදෙයි. මුලින් කී ගොඩනැඟිල්ලෙහි එක්පසෙක ඉදිරි ආලින්දයේ ද kiosk බැනරයක් සිටුවා තිබේ. ඒ ඉදිරිපිට මා අපේක්ෂාවෙන් සිටින්නී යශෝධරායි. Kiosk අවන්හල ගැන පෙර දිනෙක මා සමඟ උද්‍යෝගයෙන් පැවසුවේ ඇයයි.

“දැන් මගේ වියදම්වලින් කොටසක් අපේ kiosk එකේ වැඩ කරල හොයාගන්නවා” kiosk කියන්නෙ පත්තර, සඟරා විකුණන තැනක් ද? එදා එහෙම ඇහුවෙ මම” නෑ අපි විකුණන්නෙ කෑම “ඔයාල විකුණන්නේ මොනවගේ කෑම ද? බටහිර කෑම වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් තියන ජනප්‍රිය හැම කෑමක්ම අපි හදනවා. කොත්තු, රයිස්, බිරියානි, රෝල්ස්, බර්ගර් වර්ග”

මගේ ඊළඟ ප්‍රශ්නය “කවුද මේකේ අයිතිකාරයා?

“ඒක අයිති අපේ ෆැකල්ටියට. මේක අලුත් සංකල්පයක්….”

කොළඹ සිට පේරාදෙණි යාමට සිත් වූ පළමු හේතුව ඒ නව සංකල්පය ගැන සෙවීමටයි.

Kiosk පරිශ්‍රය සිත්ගන්නා සුලුය. කෑමට පිරියක් විතරක් නෙවෙයි විවෘත කුස්සියෙන් හමන කෑම සුවඳ කුසගින්නට අත වනයි. ඉදිරිපසම ඇත්තේ ඇනවුම් කවුන්ටරයයි. ඇනවුම භාරදුන් පසු අතට ලැබෙන කුඩා ඩිජිටල් උපකරණයත් සමඟ බිල්පත ද ලැබෙයි. ස්වයං සේවා අවන්හලට ඩිජිටල් තාක්ෂණයට ඉහළින්ම යොදාගෙන තිබේ.

මා අතැති කුඩා ඩිජිටල් උපකරණයෙන් සීනුව නාද විය. ඉන් සන්නිවේදනය කෙරුණේ මගේ ඇනවුම වූ චයිනීස් රෝලය සහ තේ කෝප්පය සූදානම් බවයි. මගේ මේසයේ තවත් දෙදෙනෙකි.⁣කෘෂි අධ්‍යයන පීඨයේ තෙවැනි වසර විද්‍යාර්ථි සෙව්මිණී යශෝදරා සහ සිවුවැනි වසර විද්‍යාර්ථි උදයංගනී කරුණාතිලකයි. Kiosk පරිශ්‍රයේ තේ කෝප්පයක් රස විඳිමින් අපේ කතාබහ ඇදීගියේ kiosk අවන්හලේ පසුබිම පිළිබඳවයි.

“මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 2021 දී. කෘෂිකර්ම අධ්‍යයන පීඨයේ පළමු වසර අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේ මහඉලුප්පල්ලම කෘෂි විද්‍යාලයේ. ඒකාලේ කොවිඩ් නිසා අධ්‍යයන කටයුතු කෙරුණේ කඩින්කඩ. පළමු වසරේ අධ්‍යයන කටයුතු ඉවර වුණේ 2022 අග විතර. අපේ දෙවැනි වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ වූ වකවානුව වනවිට රටේ තත්ත්වය ආර්ථිකව බිඳවැටුණු තත්ත්වයකයි තිබුණේ. විශ්වවිද්‍යාලය විවෘත කළත් බොහෝ අය අධ්‍යයන කටයුතුවලට හරිහැටි සම්බන්ධ වුණේ නැති තරම්. ඒකට හේතු වුණේ ආර්ථික කඩාවැටීමත් එක්ක වියදම් ඉහළ යාමත්ය. හැම කෙනෙකුටම විවිධ ආකාරයෙන් බලපෑමක් වී තිබුණා. උද්ධමනය ඉහළ යාමෙන් විශ්වවිද්‍යාල කැන්ටින්වල මුලින් රුපියල් 40 විතර පරිප්පු හොද්දයි කොළමැල්ලුමකුයි විතරක් ලැබුණා. එළවළු කෑම එක තුන්ගුණයකින් වැඩිවුණා.” උදයංගනීගේ විස්තරයත් සමඟ මගේ හිත කැලණිය විශ්වවිද්‍යාලයේ “ජිම් කැන්ටිම, හිල්ටන් (විශ්වවිද්‍යාල උප භාෂාවට අනුව) වෙත දිවෙයි. දරාගත නොහැකි කුසගින්න නිසාම ගිල දැමූ ඇටනැති පරිප්පු හොද්ද, බීටි මාළුව, පිච්චෙන තරමට මැලවුණු මුකුණුවැන්න මැල්ලුම මැවී පෙනේ.

“පරිප්පු හොද්දයි, මැල්ලුමයි. තුන්වේලක් කන්නෙ කොහොමද?” මගේ සිතට ආ ගැටලුව වචන බවට පෙරළිණි.

“ඒ වගේ බත් එකක් කන්න පුළුවන් ගාණට බිත්තරයක්, පපඩමක් එකතු කර ගත්තොත් මිල වැඩිවීමත් එක්ක රුපියල් 150ක් විතර වුණා. මාඵ කෑම එකක් 200ක් විතර ඒ විදිහට වේල් තුනක් කන්න රුපියල් 600කට වඩා වියදම් වුණා. මේ තත්ත්වය දරාගන්න ගොඩාක් අයට අපහසු වුණා.” ඒ උදයංගනීගේ පිළිතුරයි.

රුපියල් 250ක් දීලා කෑම එකක් ගන්න බැරි අයට kiosk කොහොමද උත්තරයක් වුණේ?

ඒ ගැන මම විමසුවේ kiosk සත්කාරයේ නියමුවාණන් වන කෘෂිකර්ම අධ්‍යයන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය සරත් කොඩිතුවක්කු ගෙනි.

” 2022ආර්ථික කඩාවැටීමත් සමඟ අපිට හොඳින් දැනුණා අපේ විද්‍යාර්ථීන්ගේ අපහසුතාවන්. ආර්ථික අපහසුකම් නිසා අධ්‍යයන කටයුතු බිඳවැටෙමින් තිබුණා. මේ ගැටලුවට කඩිනම් විසඳුමක් සෙවිය යුතු වුණා. අප අධ්‍යයන අංශයෙන් අධ්‍යාපනය ලබූ උපාධිධාරීන්, පශ්චාද් උපධිධාරීන් විශාල පිරිසක් සිටිනවා. අපි ඒ අයට දැන්වූවා පවතින ආර්ථික තත්ත්වය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට බාධාවක්. මේ තත්ත්වය මඟහැරවීමට හැකි ආකාරයේ සහායක් ලබාදෙන ලෙසට. ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ 92/93 කණ්ඩායමෙන් මීට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. ඔවුන්ගේ යෝජනාව වුණේ ශිෂ්‍යත්ව ලෙස ආධාර ලබාදීම නොකළ යුතු බවයි. එසේ දීමෙන් උපකාර කළ හැක්කේ සීමිත පිරිසකට පමණයි. එසේම ආධාර දීමෙන් පෝෂණය වෙන්නේ යැපීම් මානසිකත්වයයි. ඒ ක්‍රමය පසෙකලා බටහිර මෙන් වැඩක නිරතවී තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉපැයීම හා අභිමානවත් ලෙස යම් සේවයක් කණ්ඩායම් හැඟීමෙන් ඉටුකර ඊට සරිලන වැටුපක් ලබාගැනීමට අවස්ථාවක් සලසා දිය යුතු යැයි යෝජනා වුණා.

ඒ මූලික සංකල්පයට අනුවයි විශ්වවිද්‍යාලයේ කැන්ටින්වල මට්ටමට වඩා වෙනස් අවන්හලක් ඇරඹීමට යෝජනා වුණේ. ඒ අනුව 92/93 විද්‍යාර්ථීන්ගේ සංගමයේ අය මූලික කරගත් කණ්ඩායම මේ සඳහා සැලසුමක් සකස්කොට තිබුණා. කෘෂි අධ්‍යයන පීඨය ලෙස ඒ සඳහා අවැසි නෛතික අනුමැතියත් සමඟ සුදුසු ස්ථානයක් හඳුනාගැනීමත් සිදුකළා. මුලින් කැන්ටිමක් සඳහා වෙන්කර තිබූ මෙම ස්ථානය සුදුසු පරිදි සැකසීම ආදී කටයුතු පවා සිදුකළේ 92/93 කණ්ඩායම විසින් තෝරාගත් kiosk කණ්ඩායමයි. ඒ වෙනකොට මෙවැනි බාහිර කටයුත්තකට සම්බන්ධ වීමට කැමැති විද්‍යාර්ථීන් තෝරාගෙන ඔවුන් සමඟ සාකච්ඡා කර ඔවුන් තුළ උද්‍යෝගයක් ඇතිකර අවසන්.”

Kiosk මුල්ම කණ්ඩායමේ සාමාජිකාවක් වන උදයංගනී මේ ගැන පවසන්නේ මෙසේයි.” ඒ දවස්වල විශේෂ ව්‍යාපෘතියක් සිදුකරන බවත් අධ්‍යයන කටයුතුවලින් බැහැර වුණත් බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ලබාගත හැකි මේ ව්‍යාපෘතිය සමඟ එකතුවී වැඩ කිරීමට කැමැති අයට සම්බන්ධ විය හැකි බවටත් දැනුම් දීමක් සිදු කළා. ඒ අනුව 92/93 කණ්ඩායම පැවැත්වූ සූම් සාකච්ඡාවලට සම්බන්ධ වුණා. මුලින්ම මේ ගැන සඳහන් කෙරුණේ කෑමවලට සම්බන්ධ කටයුත්තක් බවයි.”

මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යයන පීඨය විසින් දැනට ක්‍රියාත්මක කරන KIOSK සුපිරි අවන්හලට අවැසි උපකරණ, විද්‍යුත් උපකරණ, ශීතකරණ ආදී සියල්ල සඳහා අවැසි මිලියන හතක පමණ ප්‍රාග්ධනය සපයා ඇත්තේ 92/93 ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයයි. මෙම සත්කාර්ය සඳහා කෘෂි අධ්‍යයන පීඨයේ දායකත්වය මිලියන තුනකට ආසන්නය.

මේ කාර්යය සාර්ථක කරගැනීම සඳහා අලුතින්ම උපකරණ මිලදී ගැනීම පසෙකලා වසා දමන ලද අවන්හලකින් සාධාරණ මිලකට අවශ්‍ය බොහොමයක් ගෘහ උපකරණ සහ මෙවලම් මිලදී ගැනීමට පියවර ගත් බව මහාචාර්ය සරත් කොඩිතුවක්කු පැවසූයේ සාමූහික ප්‍රයත්නයක් නිසා බොහෝ දෙනෙක් මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා සහාය වූ බව ද පවසමිනි.

Kiosk හි අපූර්වත්වය රැඳී ඇත්තේ මේ කිසිවක නොවේ. මේ අවන්හලට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිට පැමිණ සේවය කරන්නේ ප්‍රධාන සූපවේදීන් දෙදෙනා පමණි. එහි වළං පිඟන් සේදීම, මුදල් අයකිරීම්. ආහාර සැකසීම, අමුද්‍රව්‍ය සැපයීම, සේවා මුර සැකසීම, මූල්‍ය පරිපාලනය ආදී සෑම කාර්යයක්ම සිදුකරනුයේ විශ්වවිද‍්‍යාලයේ විද්‍යාර්ථීන්ය. ඒ සඳහා මානව සම්පත්, ගිණුම්කරණ, සැපයීම් අංශය ආදී වශයෙන් අංශ කිහිපයකට බෙදා වගකීම් පවරා තිබේ. ඒවා නිසි අයුරින් කළමනාකරණය කෙරේ. කෘෂි අධ්‍යයන පීඨය මෙන්ම 92/93 ආදි සිසු කණ්ඩායම නිරන්තර අධීක්ෂණය යටතේ මෙම කාර්යය පවත්වාගෙන යයි. Kiosk පරිශ්‍රය ආවරණය කරන ආරක්ෂිත කැමරා ඔස්සේ ඉහත කී කණ්ඩායම් දෙක විසින්ම අවන්හලෙහි සියලු කාර්යයන් පිළිබඳව අධීක්ෂණය කරනු ලබයි.

” kiosk සමඟ වැඩකරන අපේ කණ්ඩායමේ පොදු ලක්ෂණයක් තිබෙනවා. වැඩ කරන කාටවත් ශිෂ්‍යාධාර හෝ වෙනත් ආධාරයක් ලැබෙන්නේ නෑ. මවුපියන්ගෙන් එක් අයෙක් හෝ රජයේ රැකියාවක නිරත වෙන අයට කිසිදු ආධාරයක් ලැබෙන්නේ නෑ..නමුත් එහෙම අයත් ගොඩක් අමාරුවෙන් ඉගෙනීම් කටයුතු කරන්නේ. ඒ නිසාම අධ්‍යයන කටයුතු අතර kiosk හි අපි හැමෝම වැඩ කරන්නේ සතුටින්. දවල්ට දේශන ති‍ෙයන අය සවස 05 රාත්‍රී 09 පැය හතර වැඩ කරනවා. මාසේ අන්තිමට පුංචි මුදලක් ලැබුණත් හිතට සතුටුයි” යනුවෙන් පවසන්නී යශෝදරායි.

උදෑසන 09සිට රාත්‍රී 09තෙක් විවෘතව ඇති kiosk හි බෙදාගත් සේවාමුර අනුව 60 දෙනෙකු පමණ සේවය කරයි. මේ සියලු දෙනා අවම වශයෙන් රුපියල් 3000 ඉක්මවූ වැටුපක් ලබන අතර ඇතැමෙක් රුපියල් 15000ක් පමණ උපයන බව ද අනාවරණය වෙයි.

විශ්වවිද්‍යලයේ පළමු කාර්යය ඉගෙනුමයි. නිරන්තරයෙන් විභාග අධ්‍යයන නිවාඩු, සිසු උද්ඝෝෂණ අධ්‍යයන /අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවැරීම් සිදුවෙයි. එහෙත් විශේෂත්වය පොහොය දිනට හැර kiosk ඒ කිසිදු හේතුවකට නොවසා විවෘතව තැබීමයි.

මේ සියල්ල අතරේ විශ්වවිද්‍යාල උප සංස්කෘතියට kiosk ගෙනඑන්නේ නවතම අත්දැකීමකි. හැමදාමත් විශ්වවිද්‍යාල කැන්ටිමෙන් කන කෙනෙකුට විශේෂ අවස්ථාවකට (උපන්දිනයක්, පිටතින් පැමිණෙන කෙනෙකුට සංග්‍රහ කිරීමට) තැනක් මෙතෙක් තිබී නැත. විශ්වවිද්‍යාලය වෙත විදෙස් රටවලික් පවා එන අමුත්තන් බොහෝ වෙති. මේ අඩුපාඩුව අධ්‍යයන හා අනධ්‍යයන කර්ය මණ්ඩලය වෙතද කලක් තිස්සේ පැවති අඩුපාඩුවකි. දැන් විශ්වවිද්‍යාලයට එන අමුත්තෝ බොහෝ දෙනෙකුට සංග්‍රහ කිරීමට කවුරුත් තෝරාගන්නේ kiosk අවන්හලයි.

එපමණක් නොවේ, උපකුලපතිතුමාගේ කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම අධ්‍යයන අංශයක සිදුකෙරෙන උත්සව සඳහා අවශ්‍ය ඇනවුම් ලබාදීම, ආහාර පිළිගැන්වීම ආදී සේවා කටයුතු සියල්ලම වාගේ දැන් ඉටුකරන්නේ kiosk අවන්හලයි. ආරම්භක වකවානුවට වඩා එහි නවීන අත්දැකීම් බොහොමයක් වෙයි. බදාදා හවස 6.30ට පමණ kiosk වෙත යන කොනෙකුට එහි ඇති ආහාරවලින් පමණක් නොවේ, සොඳුරු ගීතාවලියක් රසවිදීමටත් අවස්ථාවක් හිමිවේ. සෑම බදාදාවකම දෙදෙනෙකු එක්ව ගෙනඑන ඒ සංගීත සැදෑව නම්කර ඇත්තේ “Beats and bites”නමිනි. kiosk කණ්ඩායම විසින් “Tales over tea” යනුවෙන් වැඩසටහනක් දියත් කරයි. ඉන් සිදුකරනුයේ විශේෂඥයකු සමඟ සංවාදයකි. Kiosk කණ්ඩායමේ කෙනකු විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයකු හෝ වෙනත් විශේෂඥයකු සමඟ සංවාදයක්/සාකච්ඡාවක් කොට මසකට වතාවක් ඔවුන්ගේ යූ ටියුබ් නාළිකාවෙහි විකාශය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවයි. මහාචාර්ය සරත් කොඩිතුවක්කු පවසා සිටියේ තම විද්‍යාර්ථීන් විසින් සිදුකරන පර්යේෂණ ඇසුරින් එළිදක්වන නවතම ආහාර වර්ග ඉදිරියේදී මෙම අවන්හල තුළින් ජනගත කිරීමට අපේක්ෂා කරන බවකි. ඒ අනුව kiosk හුදු අවන්හලක් පමණක් නොවේ. එය විශ්වවිද්‍යාලයීය උප සංස්කෘතියට එක්වූ නවතම අංගයකි.

පේරාදෙණියේ පෙම්වතුන් ද ඇතැම් දිනෙක kiosk වෙතින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට පමණක් ලබාදෙන Budget Rice එකක් ගෙන දෙදෙනාම භුක්ති විඳීම සුලබ දසුනක් වී තිබේ.

Kiosk අවන්හල සැබැවින්ම සියල්ල නිකන්ම ලබාදිය යුතුයි සිතූ අතීතයට ආදර්ශයකි. ගලහ හන්දිය පසුකර යායුත්තේ කෙටි දුරකි. සැබැවින්ම එහි ගිය විට රසවත් ආහාර වේලක් සාධාරණ මුදලකට ලබාගැනීමේ සතුට පමණක් නොවේ යහපත් අරමුණකට සහායවීමේ සතුට ද උරුම වනු නොඅනුමානය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT