Tuesday, March 25, 2025
Home » ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ

ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදි. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇතිකිරීම මෙම මුලපිරීමේ අරමුණයි. ඊට අමතරව, එම ක්ෂේත්‍ර දෙක එකිනෙකට සමීප කිරීමටත්, අත්‍යවශ්‍ය නායකත්ව ගුණාංග සහ මෙහෙයුම් හා උපායමාර්ගික නිපුණතාවලින් උපාධිධාරින් සන්නද්ධ කිරීමටත් සැලසුම් කර ඇත. ව්‍යාපාර පාසල සමඟ සම්බන්ධ වන සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඉහළ මට්ටමේ පුහුණුවක් සපයයි. ඔවුන් බලගැන්වීම තුළින් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නව්‍යතාව වර්ධනය කිරීම IIHS ආයතනයේ අරමුණ වේ.

ව්‍යාපාර පාසල විවෘත කිරීමේ අවස්ථාවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ වෘත්තිකයෝ රැසක් සහභාගි වූහ. Swisstek Aluminium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ ආචාර්ය තරිඳු අතපත්තු, කොළඹ විශ්වවිද්‍යාලයේ MBA විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ, IIHS ආයතනයේ උප කුලපති ආචාර්ය රේණුකා ජයතිස්ස, IIHS ආයතනයේ පීඨාධිපති හා සම නිර්මාතෘ වෛද්‍ය නිහාල් ද සිල්වා, චන්දිම සමරසිංහ සහ උපාලි රත්නායක යන මහත්ම මහත්මීහු ඒ අතර වූහ. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ ඇති වැදගත්කම ඉතා හොඳින් පිළිබිඹු විය. උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ ගෝලීය රටාවලට ගැළපෙන, තිරසර වර්ධනය ඇති කළ හැකි ව්‍යාපාර නායකයන් බිහි කිරීමට IIHS ආයතනය කැප වී සිටින බවයි. “ඉදිරිගාමි විෂය මාලා, විශේෂඥයන්ගෙන් සැදුම් ලත් පීඨ සහ ශක්තිමත් කර්මාන්ත සම්බන්ධතා සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය නැවත අර්ථ දැක්වීමට IIHS ව්‍යාපාර පාසල සූදානම්. මෙය සෞඛ්‍ය සේවා සහ ව්‍යාපාර යන දෙඅංශයේම අනාගත නායකයන් සඳහා අඩිතාලමක් සකසන මුලපිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි නව පරම්පරාවේ වෘත්තිකයන් බිහි කිරීමට අපට හැකිවනු ඇති” එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT