අපනයන සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පුද්ගලික අංශය සමඟ එක්ව සංවිධානය කෙරෙන TEXTECH – 2025 ඇඟලුම් හා ඒ ආශ්‍රිත තාක්ෂණික ප්‍රදර්ශනය හෙට (15දා) දක්වා කොළඹ SLECCහිදී පැවැත්වේ. නොමිලයේ නැරඹීමට පහසුකම් සලසා ඇති එය ඊයේ (13) පෙරවරුවේදී කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ. එම අවස්ථාවට රජිතා ජයසූරිය (සභාපති – SLAEA), සයිෆ් ජෆර්ජි (සභාපති – JAAF), එස්. එස්. සර්වාර් (CEO, EMS – GLOBAL) ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු අමුත්තන් රැසක් සහභාගි වූහ.
එහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේ,
මෙරට අනාගත උපක්‍රමය වන්නේ ආනයන අඩු කිරීම සහ අපනයන වැඩි කිරීම බවය. එසේම, මෙරට ප්‍රධාන කර්මාන්තයක් වන ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තය මඟින් මෙරට දැනට වාර්ෂිකව උපයා ගන්නා ඩොලර් 5ක ප්‍රමාණය බිලියන 8ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය කරා ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා රජය මඟින් තාක්ෂණික පහසුකම් සපයා දීමට මැදිහත් වන බවත්ය. මෙහිදී වැඩිදුරටත් නියෝජ්‍ය ඇමැතිවරයා විස්තර කළේ, ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයෙන් ‘3,50,000ක පිරිසක් ඍජුවත් තවත් මිලියන 1.5කට ජනතාවකට වක්‍ර රැකියාත් උත්පාදනය කර දී තිබෙනවා. එහිදී මේ කර්මාන්තයට තාක්ෂණය සපයන කර්මාන්තකරුවන් හා එම ආයතන මෙරට තෝරාගෙන එය මෙරට ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට දීමට මෙවැනි ප්‍රදර්ශන හරහා උත්සාහ දරනවා. ඒත් මේ පිළිබඳ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනික විද්‍යාර්ථින්ට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇති දැනුම හා ඔවුන් මේ සමඟ සම්බන්ධවීම එතරම් සතුටුදායක මට්ටමක නැහැ. ඒත් ජනතාව මෙහි පැමිණ තාක්ෂණය ඉදිරියට ගොස් තිබේදැයි දැක ගැනීම ඉතා වැදගත්. මහා පරිමාණ ඇඟලුම් නිෂ්පාදන ආයතන, දේශීය කර්මාන්තකරුවන්ට මේ තාක්ෂණය ලැබීම හරහා මෙරට ආනයන ප්‍රමාණය අඩු කර ගත හැකියි’ වශයෙනි.
නුවන් ජයවික්‍රම
ඡායාරූප – සුදත් නිශාන්ත