ගොවි පවුල් සියයක් අසීරුවේ / පවරා ගත් ඉඩමත් නෑ: වන්දිත් නෑ
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වැලිමඩ, පුහුල්පොළ හා බණ්ඩාරවෙල ඩයරබා ජලාශ ඉදිකිරීම හේතුවෙන් උමා ඔය පහළ ප්‍රදේශයේ පිහිටි කන්දකැටිය, බත්මැඬිල්ල ව්‍යාපාරය ඇතුළු වගාබිම්වලට මුහුණ පෑමට සිදුවන ජල හිඟයට විසඳුමක් ලබාදීම ප්‍රධාන අරමුණ කොටගෙන දැනට වසර හතකට පමණ පෙර ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද කන්දකැටිය, වාසනාගම තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අතරමඟ නතරවී ඇත.
එම ජලාශය වෙනුවෙන් පවරාගත් ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් හෝ වන්දි මුදල් හෝ මේ වන තෙක් නොලැබීමෙන් ප්‍රදේශයේ ගොවි පවුල් සියයකට අධික පිරිසක් අසීරුතාවයට පත්ව සිටිති.
බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, හාලිඇළ සහ ඌව පරණගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් වාසනාගම, තැටිල්ල, කොකටියමළුව, බෝගොඩ, යාලගමුව සහ වෑතලාව යන ග්‍රාම නිලධාරි වසම් 6කට මායිම්ව නිර්මාණය කෙරෙන ගන මීටර් මිලියන 15.6ක පමණ ධාරිතාවයකින් යුතු ජලාශයක් සහිත බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සැලසුම් කර තිබිණි. ඒ යටතේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වාසනාගම, තල්පිටිගල ප්‍රදේශයේදී උමාඔය හරහා දිගින් මීටර් 280ක් හා උස මීටර් 45.7ක් පමණ වූ කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකර ජලාශය නිර්මාණය කෙරේ. එහි සිට කිලෝමීටරයක් පමණ පහළට උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙන ගොස් එමඟින් ගිගාවොට් පැය 51ක ජල විදුලි බලයක් වාර්ෂිකව උත්පාදනය කර වගා කෙරුණු ඉඩම් හෙක්ටයාර 810කට හා නව ඉඩම් හෙක්ටයාර 400කට යල මහ දෙකන්නයටම අවශ්‍ය වාරි ජලය සැපයීමටත් නියමිතය. කන්දකැටිය සිට වාසනාගම හරහා ඌව පරණගම දක්වා මාර්ගයක් ඉදිකිරීමට සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල, බෙරාමඬ යන ගම්මානවල පවුල් 10000කට පමණ පානීය ජලය සැපයීමටත් ඊට අමතරව එම ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට හා පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරිණි.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය අෙමරිකානු ඩොලර් මිලියන 174ක් හෙවත් එවකට රුපියල් මිලියන 32,000ක් වූ අතර, ඉන් සියයට 85ක් චීනයේ අපනයන ආනයන බැංකුව (EXIM) මඟින් හා ඉතිරි සියයට 15 ශ්‍රී ලංකා රජයෙන්ද යොදවා එම මූල්‍ය ප්‍රතිපාදන මත වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදි කිරීම් සිදු කිරීමටත් සැලසුම් කොට තිබිණි.
මෙහිදී ඉඩම් හා නිවාස අහිමි වන ගොවීන්ට යෝජිත ජලාශයට යටවන ප්‍රදේශයේ උමාඔය ආසන්නව බෝගොඩ රජමහා විහාරස්ථානයට අයත් ඉඩම්වල තාවකාලිකව වගා කිරීමට අවසර දී ඇති අතර, ඔවුනට විකල්ප ඉඩම් ලබාදීම පිණිස බිම් කොටසක් හඳුනාගෙන මැනුම් කර ඇතත් ඊට එරෙහි අධිකරණ කටයුත්තක් හේතුවෙන් එම ඉඩම් ලබාදීම ද සිදු නොවූ බව පැවසේ. ව්‍යාපෘතිය ආරම්භ කොට වසර කිහිපයක් ගතවුණද මෑතකදී අඩක් අවසන් කෙරුණු මාර්ගයක් හා ව්‍යාපෘති කාර්යාලයක් ඇතුළු ගොඩනැඟිලි කිහිපයක් හැරුණු විට මේ වන විටත් එහි කිසිදු ඉදිකිරීමක් සිදු නොවූ බවද ප්‍රදේශවාසීහු පවසති.
මේ තත්ත්වය මත තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියකු වන ආර්.ඩී. ලැයිසා මහත්මිය මෙසේ පැවසුවාය.
හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙ වාසනාගම ගම්මානය හදලා අපට ගෙවල් දීල අපට වගා කරන්න කියලා මේ ප්‍රදේශයේ ඉඩම් දුන්නා. අපි ඒවයේ වගා කරගෙනයි ජීවත් වුණේ. රනිල් මහත්තයාගෙ කාලේ මේ ව්‍යාපෘතිය පටන්ගෙන අපේ ඉඩම් මේ ව්‍යාපෘතියට පවරා ගත්තා. ඉඩම්වල බලපත්‍රත් අරගත්තා. ඒ ඉඩම්වලට වන්දි දෙනවා කීවා. ඉඩම් දෙනවා කීවා. හැබැයි තාම කිසිම වන්දියක්වත් ඉඩම්වත් ලැබුණෙත් නෑ. අපට ජීවත් වෙන්න විදිහක් නැති නිසා මේ උමාඔය ළඟ ඉඩම්වල වගා කරන්න අවසර දුන්නා. ඒත් සතුන්ගේ කරදරත් එක්ක වගාවත් හරිම දුෂ්කරයි. වයසක අපට දැන් වගා කරන්න තරම් හයියකුත් නෑ. ගත්ත ඉඩම්වලට වන්දිත් නෑ. ව්‍යාපෘතිය කෙරුණෙත් නෑ. අපි දැන් හැම අතින්ම අසරණ වෙලා ඉන්නේ. අඩු ගාණේ ව්‍යාපෘතිය හරි කෙරුණා නම් රටට හරි වැඩක් වෙනවා. දැන් කිසි දෙයක් නෑ.
ලසන්ත හෙන්නායක මහතා මෙසේ අදහස් දැක්වීය.
මේ තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධව මූලික සැලසුම් කෙරෙන්නේ 2009 සිට. 2018 පමණ ව්‍යාපෘති කාර්යාල පවා ආරම්භ කරලා ප්‍රදේශයේ ඉඩම් අක්කර 260ක් පමණ ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගත්තා. රජයේ ඉඩම් බදු ඉඩම් වගේම සින්නක්කර ඉඩමුත් පවරා ගත්තා. අහිංසක ගැමියන් සියයකට වැඩි පිරිසක් අවුරුදු ගණනාවක් තිස්සේ සංවර්ධනය කළ ඉඩම් ඒ අතර තිබුණා. ඒ වෙනුවෙන් වන්දි දෙන බව පවසා වන්දි තක්සේරුවක් පවා කළත් කිසි කෙනෙකුට කිසිම වන්දියක් විකල්ප ඉඩම් හෝ නිවාස අහිමි වන අයට නිවාස හෝ මේ වන තුරු ලැබුණේ නෑ. අපි කියන්නේ ඒ හේතුවෙන් මේ වන විට අසරණව සිටින ඒ ජනතාවට අවශ්‍ය සහන ලබාදී වත්මන් රජය යටතේ හෝ මේ ව්‍යාපෘතිය කඩිනමින් නිමකර දෙන ලෙසයි.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න