කොළඹ 7, විජේරාම මාවත ඉඩම් හිමි ධනවත් සහෝදරයන් තිදෙනකු පදිංචි දෙමහල් නිවෙසට තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිවැසියන් මරණ බවට තර්ජනය කර මැණික් සොයා අසාර්ථක උත්සාහයක යෙදී රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා මුදල් සහ දේපොළ කොල්ලකා පලා ගිය සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර, හිටපු යුද හමුදා සෙබළුන් තිදෙනකු වන බවත්, ඔවුන් අතර යුද හමුදා පොලීසියේ දෙදෙනකු ද වන බවත් පොලීසිය සඳහන් කළේය. සෙසු සැකකරුවන් දෙදෙනා අතර පෑස්සුම්කරුවකු ද වෙයි. සැකකරුවන් කොල්ලකෑමට යොදාගත් මෝටර් රථය හා උල් පිහිය ද පොලිස් භාරයට ගෙන ඇත. එම ධනවත් සහෝදරයන් තිදෙනාට රියැදුරන් දෙදෙනකු ඇතුළු සේවකයන් පස්දෙනකු සිටින බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලීසිය පැවසුවේ, ඉකුත් දිනෙක අලුයම 4.00ට පමණ එක් සහෝදරයකු ව්‍යාපාර කටයුතු සඳහා ඔහුට අයත් මෝටර් රථයෙන් රියැදුරකු සමග නිවෙසින් බැහැරව ගිය අතරවාරේදී මෙම කොල්ලය සිදුව තිබූ බවයි. තියුණු ආයුධයක් රැගෙන මුව ආවරණ පැලඳ නිවෙසට කඩා වැදී තිබූ පුද්ගලයන් පස් දෙනකු නිවෙසේ එම අවස්ථාවේ සිටි සේවකයන් දෙදෙනාගේ මුවට ප්ලාස්ටර් ගසා අත් පා ගැටගසා කාමරයකට දමා එක් කොල්ලකරුවකු ඔවුන්ගේ මුරට තබා සිවු දෙනකු උඩුමහලට ගොස් එක් කාමරයක නිදා සිටි වැවිලිකාර සහෝදරයාට උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කරමින් කාමරය තුළ තිබූ සියලු අල්මාරි විවෘත කරමින් මැණික් සොයා ඇතැයි ද පොලීසිය පැවසීය.
අනෙක් සහෝදරයා තවත් කාමරයක සිට ඇතත් එම කාමරය කොල්ලකරුවන්ට සොයා ගැනීමට නොහැකි වී තිබේ. අනතුරුව එම පුද්ගලයා නිදා සිටි කොට්ටය යට තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් රැගෙන සේවකයන් සන්තකයේ තිබූ ජංගම දුරකතන රැගෙන කොල්ලකරුවන් පලා ගොස් තිබිණි. කොල්ලය සැලවූ වහාම කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා එම ස්ථානය වෙත ගොස් එහි සිටි සේවකයන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය සඳහා මීට සති දෙකකට පෙර සේවයෙන් ඉවත් කළ රියැදුරකු ද පැමිණ සිටි බවට අනාවරණය කරගෙන තිබේ. අනතුරුව එම පුද්ගලයාගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඒ ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකර ඉතා කෙටි කාලයක් තුළදී මෙම කොල්ලයේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් විය.
කොල්ලය සිදුවූ දින උදෑසන එක් සහෝදරයකු සමග නිවෙසින් පිටවී ගිය රියැදුරු මෙම කොල්ලය සැලසුම් කර ඇති බවත්, ඔහු විසින් මෙම නිවෙසේ සියලුම තොරතුරු කොල්ලකරුවන් වෙත ලබා දී ඇති බවත්, ඊට අමතරව මීට සති දෙකකට පෙරදී කිසියම් ආරවුලක් හේතුවෙන් රැකියාවෙන් ඉවත් කළ රියැදුරු ද කොල්ලකරුවන් වෙත තොරතුරු ලබා දී ඇති බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධිය වූ දින අලුයම නිවෙසින් පිටව ගිය රියැදුරුගේ ජංගම දුරකතනයේ තොරතුරු සම්බන්ධ කරගෙන සිදු කළ විමර්ශනවලදී ඒ බව ද තහවුරු වූ බවයි.
මෙම කොල්ල කණ්ඩායමට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඒ අනුව යුද හමුදා සෙබළුන් තිදෙනා වැල්ලම්පිටිය, කුරුඳුවත්ත හා කෑගල්ල ප්‍රදේශවලනුත් අනෙක් සැකකරුවන් දෙදෙනා හෝමාගම, හබරකඩ සහ කඩුවෙල කොරතොට ප්‍රදේශවලදීත් අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ