පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ අස්වනු නෙළා ගැනීමට නොහැකිව වී වගාකළ ගොවි ජනතාව දැඩි අසීරතාවට පත්ව සිටිති.
ඇළහැර, හිඟුරක්ගොඩ, මින්නේරිය ප්‍රදේශවල වගා කරන ලද කුඹුරු අතරින් සියයට එකකවත් වී අස්වැන්න නෙළා නොමැති අතර පැසුණු ගොයම මෙසේ කපා ගැනීමට නොහැකිව ගොවියෝ අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. පැසුණු ගොයම කපා ගැනීමට නොහැකිවීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ප්‍රමාණවත් තරම් ගොයම් කපන යන්ත්‍ර නොමැතිවීමයි. ඒ හේතුවෙන් අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වූ බව බොහෝ ගොවීහු පවසති.
පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඇති ගොයම් කපන යන්ත්‍ර බහුතරයක් වෙනත් ප්‍රදේශවල ගොයම් කැපීමට ගෙනයාම නිසා මෙසේ දිස්ත්‍රික්කය තුළ ගොයම් කපන යන්ත්‍ර හිඟයක් පචතියි. මෙයට සති දෙකකට පමණ පෙර ඇදහැලුණු වැස්සෙන් දිස්ත්‍රික්කයේ බහුතරයක් කුඹුරවල ගොයම් ගස් ඇද වැටුණු අතර මෙවර ඒ ඇදවැටුණු ගොයම පැළවීමේ අවදානමක් ඇතැයි ද ගොවීහු පවසති.
මෙවර වී අස්වැන්න සියයට පනහකින් පමණ අඩු විය හැකි බවද ගොවීහු පවසති.
මේ පිළිබඳ අදහස් දැක්වූ මින්නේරිය, පල්ලේවල පදිංචි 40 හැවිරිදි ගොවි මහතකු වූ ඒ. කරුණානායක මහතා මෙසේ පැවසීය.
“සති දෙහකට විතර උඩදී ඇදහැලුණු වැස්සට කුඹුර යට වුණා. මුළු කුඹුරේම ගොයම් ගස් වැටුණා. මේ සතිය තුළ ගොයම් කපන යන්ත්‍ර සොයාගන්න බැරිවුණා. දැන් ආයෙත් කුඹුරු වැස්සට යටවෙලා. ඒවායේ වී පැළවෙන්න බලනවා. අනේ මන්දා කාට කියන්නද කියලා අපේ දුක.”
මින්නේරියේ පදිංචි මේඝ සිරි මහතා මෙසේ පැවසීය.
“මම වැඩ කළ කුඹුරෙත් ගන්න දෙයක් නෑ මුළු කුඹුරේම ගොයම් ගස් වැටිලා. මේ දිනවල වහින වැස්සට නැවතත් වැටුණු ගොයම යටවුණා මේවා පැළවෙනවා. අපට මේ සැරේ කැඳ බොන්නවත් නැති විදියයි පේන්න තියෙන්නේ අපිට වන්දි ලබා දෙන්න කියලා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.”
ඇළහැර – සරත් වෙලගෙදර
මින්නේරිය – සුසිල් කරුණාතිලක