කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
මැදින් පුර පසළොස්වක පොහොය දවස සම්බුද්ධ ශාසනයට වැදගත් කරුණු කාරණා රැසක් සිදු වූ පුණ්‍යවන්ත දවසක්. අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කළගුණ සැලකීම වෙනුවෙන් කිඹුල්වත්නුවර තම ඥාතීන් සොයා වැඩම කළේ අද වැනි දිනකයි. කිඹුල්වත්පුරට වැඩම කර තමන්ගේ පියාණන් වහන්සේ වන සුද්ධෝදන රජතුමාට ධර්මපාල ජාතක කතාව දේශනා කිරීමෙන් පසුව පිය මහරජතුමා සෝවාන් ඵලයට පත් වුණේ අද වැනි දිනකයි. යශෝධරා දේවියට චන්නකින්නර ජාතකය හෙවත් සඳකිඳුරු ජාතකය දේශනා කළේ අද වන් දිනකයි. බුදුරජුන් ගිහි කල සිය පුතණුවන් වූ රාහුල කුමරුන් හා නන්ද කුමරු පැවිදි කරනු ලැබුවේ ද අද වැනි දවසකයි. එමෙන්ම දහම් අවබෝධ ලබා ගත් අය අතර ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත් වූයේ අද වැනි දවසකයි. එසේම මහා ප්‍රජාපතී දේවිය සෝවාන් ඵලයට පත් වූයේ ද අද වැනි දිනෙකයි. මවුපිය අවසර නොමැතිව ශාසනයට පුද්ගලයන් ඇතුළු නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට විනය නීතියක් පනවනු ලැබුවේ ද අද වැනි දවසකයි. මේ අනුව මැදින් පොහොය දින ශාසන ඉතිහාසය, ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනක් වෙනවා.
අපේ ජීවිත තුළ අපි විවිධාකාර දුක් පීඩාවලට මුහුණ දෙනවා. ඒ වගේම විටෙක සතුටු වෙනවා. ජීවිතයේ අපිට දුක වගේම සතුටටත් මුහුණ දෙන්න වෙනවා. අපිට අවශ්‍ය විදිහට දුක පසු කරන්න හෝ සතුට තියා ගන්න බැහැ. දුක සැප නිති පෙරළේ, රිය සක ලෙස ලෝකේ කියන්නේ ඒ නිසයි. මේ දුක සතුටට අපි මුහුණදෙන විට දුප්පත් පොහොසත්, ආගම්, ජාති භේද නැහැ. ඒ ධර්මතාවට මුහුණදීම තමයි ජීවත් වෙනවා කියන්නේ. මේ දෙකටම මුහුණදීමේ හිතක් හදා ගැනීමයි වැදගත් වන්නේ. එය ධර්මය තුළින් තමයි හැදෙන්නේ.
මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ඉතා දුර්ලභ අවස්ථාවක්. කිසිම අඩුපාඩුවක් නැතිව දැනුම බුද්ධිය ඇති මනුෂ්‍යයකුව උපත ලැබීම ඊටත් වඩා දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. ඒ ශ්‍රවණය කොපමණ දුර්ලභ වුවත් ධර්මය අහලා, දරලා, භාවනා කරන එක ඊට වඩා දුර්ලභයි. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා බුදු හාමුදුරුවෝ කියලා තිබෙන්නේ ධර්මය හොඳින් අසන්න, දරන්න, හැසිරෙන්න කියලා. මිනිස්කමින් යුතු පුද්ගලයකු බිහි වන්නේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් හා හැසිරීමෙනුයි. සද්ධර්මය කියන්නේ බුද්ධාගම පමණක් නොවෙයි. ලෝකයේ තිබෙන ප්‍රතිපත්ති ධර්මයන් සියල්ල සද්ධර්මයන් වෙනවා. මිනිස්කම සුරක්ෂිත කරන යම් ධර්මයක් වේ ද එය ශ්‍රවණය කරන්නට ඕනෑ. සත්පුරුෂ ධර්මය අසන කෙනා, දරන කෙනා, හැසිරෙන කෙනා මේ ලෝකයට සත්පුරුෂ දේ දායාද කරනු ලබනවා. ධර්මය කියන වචනයවත් නොඇසෙන දවසක් අනාගතයේ තිබෙන්න පුළුවන්. වර්තමානයේ මෙපමණ බණ ඇසි ඇසී, මිනිසුන් කපා කොටා ගන්නවා. පක්ෂ නිසා, පාට නිසා, තණ්හාව නිසා, වෛරය නිසා මරා ගන්නවා. ධර්මය ඇසි ඇසී අද මෙහෙම නම් අනාගතයේ දවසක ධර්මය නොඇසී තිබෙන විට කුමක් වේදැයි කල්පනා කර බලන්න. අපි ජීවත් වෙන්නේ ගෞතම බුද්ධෝත්පාද කාලයෙයි. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය තිබෙන කාලයේ අපි පුළුවන් තරම් සුනාත, ධාරේත, චරාත අනුගමනය කර ජීවිතය හදා ගන්න අවශ්‍යයි. හොඳ දේ හිතනවා නම් හොඳ දේ කරනවා නම් ඒ මිනිසා මිනිස්කමට ආඩම්බරයක්. ඔහු දෙවියන්ට සමීප කෙනෙක්. මේ ජීවිතය ඇතුළේ අපි හැම දෙනාම හොඳ දේ කරන්න, කියන්න පුරුදු වුණාම දෙවියන්ගේ ආශීර්වාදය පවා ලැබෙනවා. ධම්ම පදයේ ඉහත ගාථාවෙන් කියැවෙන්නේ මිනිසත්බව ලැබීම දුෂ්කරය. මිනිසුන්ගේ ජීවිත පැවැත්ම අපහසුය. බණ ඇසීම දුර්ලභය. සම්බුදුවරයන්ගේ ලොව පහළ වීම ද දුර්ලභය යන්නයි.
ඒ නිසා පින්වතුනි, අපි මොන කුලයේ, මොන ජාතියේ, මොන ආගමේ, මොන භාෂාව, මොන තරාතිරමේ වුණත් ඉන්න ටික කාලේ තමාටත් අන් අයටත් වැඩක් ඇති ජීවිතයක් බවට පත් කර ගන්නට හොඳ දේ කරමු, කියමු. ඒ සඳහා සියලු දෙනාට ශක්තිය ලැබේවා. ඥනය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු.
තෙරුවන් සරණයි.