Home » මේ වසරේ අපනයන ආදායම අ: ඩොලර් බිලියන තුනකින් වැඩි කර ගැනීම ඉලක්කයයි

මේ වසරේ අපනයන ආදායම අ: ඩොලර් බිලියන තුනකින් වැඩි කර ගැනීම ඉලක්කයයි

-කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති

by sachintha
March 13, 2025 4:00 pm 0 comment

මේ වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන තුනකින් වැඩි කර ගැනීම රජයේ ඉලක්කය බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේ පැවසුවේ ගාල්ල ගෝල් ඩි ශාලාවේදී පසුගියදා (09) ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සඳහා පැවැති “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමිනි.

මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ පිටරටින් ලංකාවට ගෙන එන භාණ්ඩ සඳහා බාධක පැමිණවීම නොව එම භාණ්ඩ සමඟ තරග කළ හැකි දේශීය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වන බවයි. ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම හැකියාව කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි අතර ලෝකයේ ඉදිරියෙන්ම සිටින සන්නාම රැසක් ශ්‍රී ලාංකිකයන්ගේ දෑතින් නිපදවන බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ දේශීය ව්‍යවසායකයන් ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට අවශ්‍ය යන්ත්‍රණය මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන තුනකින් වැඩි කර ගැනීම රජයේ ඉලක්කය බවද පැවසීය. කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙහිදී නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ රටක් ලෙස කර්මාන්ත ඉදිරියට යෑමට බාධා වන ප්‍රධාන ගැටලු හතරක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් විශාල පිරිසක් මේ වැඩසටහනට පැමිණ සිටි අතර ඔවුන් විසින් තම කර්මාන්ත පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු රැසක් හා ඔවුන්ගේ නව අදහස්ද අමාත්‍යවරුන් හා නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදි.

මේ වැඩසටහනට දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ, ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ ඇතුළු මැති ඇමැතිවරුන්, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අනිකුත් නිලධාරීන්, ආයතන සභාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නිරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT