Home » නාමල් උයන කියන්නේ සංචාරකයන් ඉතා ඕනෑකමින් නැරඹීමට එන පරිසර පද්ධතියක්

නාමල් උයන කියන්නේ සංචාරකයන් ඉතා ඕනෑකමින් නැරඹීමට එන පරිසර පද්ධතියක්

-සංචාරක හා විදේශ කටයුතු ඇමැති විජිත හේරත්

by sachintha
March 13, 2025 4:01 pm 0 comment

ජාතික නාමල් උයන ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරයට ගෙනයාම සඳහා වනවාසී රාහුල හිමියන් වසර 34ක් පුරාවට කරන ලද අනූපමේය සේවාවට සමස්ත ජාතියේම උපහාරය උන්වහන්සේට පිදිය යුතු බව සංචාරක හා විදේශ කටයුතු පිළිබඳ ඇමැති විජිත හේරත් මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බැව් සඳහන් කළේ ජාතික නාමල් උයනේ (34) වැනි සංවත්සරයට සමගාමීව නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයේ පැවැති විශේෂ තිළිණ ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි. මෙදින මැලේසියාවේ අශින් පඤ්ඤාසීග හිමියන් කරන ශාසනික හා සමාජීය මෙහෙවර උදෙසා උන්වහන්සේට විශේෂ උපහාර පිදීමක් ද මෙදින සිදු කෙරුණි.මේ දහම් හමුවේදී වැඩිදුරටත් විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

වසර 34ක් මේ මහා ජාතික සම්පත ආරක්ෂා කරන්න රාහුල හාමුදුරුවෝ තනියම කරන මෙහෙවර අප හැමෝම අගය කළ යුතුයි.

මම මීට වසර ගණනාවකට පෙර නාමල් උයනට යද්දි මහා මාර්ග පවා අබලන් වෙලා තිබුණා. ඒ වගේම වන අලින්ගෙන් පවා තර්ජන තිබුණා. හැබැයි අද වන විට ජාතික නාමල් උයන පිහිටි පලාගල ප්‍රදේශය දියුණු වෙලා, මංමාවත් නවීකරණය වෙලා, ඒ සමඟම ජාතික නාමල් උයනත් ලෝකයම දන්න ඉතා වටිනා පරිසර පද්ධතියක් වෙලා. මේ සඳහා නායකත්වය දුන්නේ අපේ වනවාසී රාහුල හාමුදුරුවො කියා ඉතා සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම දෙස් විදෙස් සංචාරකයන් ඉතා ඕනෑකමින් නැරඹීමට එන පරිසර පද්ධතියක් තමයි නාමල් උයන කියන්නේ. සංචාරක ආකර්ෂණය තව තවත් මේ සඳහා යොමුකිරීමට රජයක් විදියට අවශ්‍ය පහසුකම් මෙන්ම මේ වටිනා භූමිය ආරක්ෂා කිරීම සඳහා ගතයුතු සෑම සහයෝගයක්ම රාහුල හිමියන් වෙත ලබාදෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ දහම් හමුවේදී වනවාසී රාහුල හිමියෝ මෙසේද පැවසූහ.

මම දාගැබ්, පිළිම, ගොඩනැඟිලි, තාප්ප වෙනුවට මේ වටිනා සම්පත මතු පරපුරට රැකදෙන්නයි කටයුතු කළේ.1991 සිට මේ දක්වා වසර 34ක් මේ ජාතික සම්පත රැකගන්න මම අනන්ත අප්‍රමාණ දුක් වින්දා. ඒ විඳපු දුක්වල ප්‍රතිඵල අද මට ඇහැට පේන්න තියෙනවා. ඒ ගැන හිතලා මම සතුටු වෙනවා. මම අපේ ඇමැතිගෙන් ඉල්ලා සිටින්නේ වත්මන් ජනාධිපතිගෙත් අවධානය යොමු කර ජාතික නාමල් උයන ජාතික උරුමයක් විදියට සංරක්ෂණය කරන්න වැඩපිළිවෙළක් හදා දෙන්න කියලයි. මම ආණ්ඩුවෙන් මුදල්, සහනාධාර, සිමෙන්ති, ටකරං තහඩු, වැලි, ගඩොල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මතු පරපුර වෙනුවෙන් සමස්ත ලෝකයටම පිරිසුදු වාතය ලබාදෙන මේ සම්පත රැකගන්න වැඩපිළිවෙළක් සකසා දෙන්න. ජාත්‍යන්තර වශයෙන් ඉහළට ඔසවා තබන්න අපේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීන් මට දුන් සහයෝගය අමතක කරන්නේ නෑ. ඔවුන් හැමෝටම පින් දෙනවා. ඒ වගේම ඉදිරියටත් ජාතික නාමල් උයන රැකගන්න මාධ්‍යවල සහාය අපේක්ෂා කරන බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන් ගම් ප්‍රදේශය නාමල් උයන අයිති පලාගල ප්‍රදේශයට ආසන්නයේ ඇති බැවින් ජනාධිපතිගේ විශේෂ අවධානය යොමු කර මේ ප්‍රදේශය දියුණු කිරීමට අවශ්‍ය සහාය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද රාහුල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු ගිහි පැවිදි විද්වතුන් රැසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

රත්නසිරි පතිරණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT