Home » ලිවීම වේගවත් වුණේ සමාජ මාධ්‍යයෙන්

ලිවීම වේගවත් වුණේ සමාජ මාධ්‍යයෙන්

-ලේඛිකා, දිගැසි පබසරා අමරසිංහ

by sachintha
March 13, 2025 4:00 pm 0 comment

මොකුත් නැති සුදු බත, හරිම රස බව කිවුවේ …

මෙලහකට මං ආදරේ මහ ගොඩක් බෙදපු හන්දා වෙන්න ඇති….

66 පිටුව, නුඹව පමණක් සොයමි

ඇය දිගැසි පබසරා අමරසිංහය. විටෙක ඇය කිවිඳියකි. තවත් විටෙක යොවුන් නවකතා රචකාවියකි. තවත් විටෙක කෙටිකතා රචිකාවියකි. විටෙක නවකතා කතුවරියක් ද වෙයි. නුඹව පමණක් සොයමි ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. නුවරක සෙනෙහස ඇගේ යොවුන් නවකතාවයි. නවය නපුරුයි ඇගේ කෙටිකතා සංග්‍රහයයි. අසංජානනී යනු ඇගේ නවතම නවකතා ග්‍රන්ථයයි. මේ ආකාරයේ විවිධාකාර ඉසව් ඔස්සේ වේගවත් ලේඛනයක නිරතවන දිගැසි පබසරා අමරසිංහ සමඟ අප කළ සාකච්ඡා සටහන මෙසේ තබමු.

l ඔබ ග්‍රන්ථ කතුවරියක් දක්වා ගොඩනැඟුණු පසුබිම කෙසේ වන්නේද ?

මම ඉපදුණේ මහනුවර පුස්සල්ලාව කියන සුන්දර ගමේ. මගේ කුඩා අවධියේ ගෙවුණෙත් ඒ ගමේ. මම පුස්සල්ලාව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා,පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා, මහනුවර උසස් බාලිකාවට ඇතුළත් වුණා. ඒ 1993දීයි. මගේ මව පද්මිනි අමරසිංහ. මගේ පියා විජිත අමරසිංහ. එයා ව්‍යාපාරිකයෙක්. මම ලේඛනයට යොමු වුණේ 1995 වර්ෂයේදී පමණ. ඒ වගේම මට ලේඛනයට ආභාසය එන්නේ, මගේ සීයාගෙන්. මගේ සීයා ඒ කාලේ තරුණ කවි සමාජයේ සභාපති වෙලා හිටිය. එයාගේ නම ආර්යවංශ ධර්මතිලක අමරසිංහ. මම පොඩි පොඩි කවි පන්ති ලියලා පත්තරවලට යොමු කළා. මට ඒකට මාර්ගය පෑදුණෙත් මගේ සීයගෙන්. සීය ඒ කාලේ තිබ්බ හැම පත්තරයක්ම සල්ලිවලට ගන්නවා. එයා සිරිකත පත්තරෙත් ගත්තා. මේ වගේ කවි පන්ති එයා කියෙවුවා. මටත් ඒ ආභාසය ආවා. ඒ වගේම මේ පත්තරවල, මේ කවිවල ගුණ දොස් මගේ සීයා විචාරය කළා. ඒ වගේ අඩුපාඩු කියලා දුන්නා. ඒ කාලේ සිරිකත පත්තරේ තිබුණා කවි තරගයක්. ඒකට මම කවිය යොමු කළා. ඒකෙ හොඳ කවි තෝරලා තෑගි දෙනවා. දයාවංශ ජයකොඩි සහ සමාගමෙන්. මට පළමු වතාවට තෑග්ගක් ලැබුණා. ඒක කවි පොතක්. ඒ 1995 දී. සීයා මෙහි ඇති කවි පන්ති ගැන මගෙත් එක්ක කතා බහ කළා. සමහර ඒවගේ එළිසමය එළිවැට ගැළපෙනවා මදි කිවුවා. හැබැයි ඔයාගේ වයසත් එක්ක බැලුවම ප්‍රශ්නයක් නෑ කියලා කිවුවා. හැබැයි මේක ඉස්සරහට මීට වැඩිය දියුණු වෙන්න ඕනෑ කියලා සීයා උපදෙස් දුන්නා. මම සීයා බලන්න යන හැම වාරයකදීම සියා මට ගුරුහරුකම් දෙනවා. මේක තමයි මගේ පටන් ගැන්ම. මම පටන් ගත්තේ කවිවලින්.

l ඔබ කෙටිකතා, නවකතා, යොවුන් නවකතා සහ කවි යනාදී විවිධ ශානරයන් ඔස්සේ ලේඛනය මෙහෙය වූ ලේඛිකාවක්. මේ ලේඛනයට ඔබට පසුබිම සැකසු‍ෙණ් කොහොමද?

ඇත්තටම මේකට පසුබිම යෙදුණේ ඉස්කෝලේ කාලෙදීමයි. ඉස්කෝලේ කාලෙදිත් මගේ ලියවිල්ල දිගින් දිගටම කරගෙන ගියා. විවේක කාලවලදීත් අපි කළේ නිසඳැස් හා කවි ලියන එකමයි. ඒ වගේම මගේ වටේ හිටපු යාළුවොත් ලියන්න කැමති අය. ඒ වගේම අපි ලියන ලියවිලි හුවමාරු කරගත්තා. ඒ වගේම මේ ලියවිලි අපේ විනෝදාංශය වුණා. 11 වසරෙදි 1998 දී මම නවකතාවක් ලියන්න පටන් ගත්තා. ඒ නවකතාවේ චරිත තමයි ඒ කාලේ මගේ වටේ හිටපු සැබෑ චරිත. ඒ කාලේ මම දවස පුරාම ලියනවා. ලියන නවකතාව ඉස්කෝලෙට අරන් ගියා. ඊට පස්සේ යාළුවෝ ඒක කියවනවා. විචාරත් කරනවා. ඒක තමයි මං අතින් ලියවුණු පළමු වැනි නවකතාව. අ.පො.සා. පෙළ පන්තියට ඇවිල්ලත් මම ලියවිල්ල නතර කළේ නෑ. මම උසස් පෙළට හැදෑරුවේ විද්‍යා විෂයන්. ඒ කාලේ මම රජයේ තරග විභාගයකට ඉදිරිපත් වුණා. ඒ වගේම රාජ්‍ය අංශයේ වෘත්තියක් ලැබීමටත් හැකි වුණා. මේ කාලේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරමිනුයි හිටියේ. කොහොම හරි ඒ අතරෙදිත් මම ලියවිල්ල අතෑරියේ නෑ. මහා පරිමාණ වශයෙන් ලියන්න නොහැකි වුණත් මම ලියවිල්ල නතර කළේ නෑ. රැකියාවයි, අධ්‍යාපන කටයුතුයි එකටම ඈඳලා කරගෙන ගියා. 2009 වර්ෂයේදී මම විවාහ වුණා. කටුනායක පදිංචියට ආවා. මගේ සැමියා ගුවන් හමුදා නිලධාරියෙක්. මේ කාලය වන විට සමාජ මාධ්‍ය ටිකෙන් ටික පැතිරෙමින් තිබුණා. මමත් නොදැනීම සමාජ මාධ්‍යයට නැඹුරු වුණා. සමාජ මාධ්‍යයෙන් මගේ සිතුවිලි මම ලියන්න පටන් ගත්තා. ඒත් 2021 වනතුරුම මම පොතක් කරන්න ඕනේ කියන තැනක හිටියේ නෑ.

l ඔබ වේගයෙන් ලියන ලේඛිකාවක්. මේ වේගවත් බව රඳවා ගන්නේ කොහොමද ?

කොවිඩ් කාලේ මගේ ලියවිල්ල වේගවත් වුණා කිව්වොත් නිවැරදියි. ෆෝන් එක නිතරම මගේ අතේ තියෙන නිසා නෝට් පෑඩ් එකෙන් මම ලියන්න පුරුදු වුණා. මට පොතක් පෑනක් අරගෙන එක තැනක ඉඳලා ලියන්න අවශ්‍ය නැහැ. ලැබෙන පුංචි වෙලාවෙ හරි මම ෆෝන් එකෙන් ටයිප් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වෙලාවේ හිතට එන අදහස්, කවි සිතුවිලි සියල්ලම මම මේ ආකාරයට ෆෝන් එකෙන් ටයිප් කරලා කළමනාකරණය කර ගන්න පුරුදු වෙලයි ඉන්නේ.

l ඔබේ නුවරක සෙනෙහස යොවුන් කතාව එක්තරා වයස්‌ කාණ්ඩයකට සීමා වෙනවා. මේ තෝරා බේරා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වුණේ කුමන අංශ කෙරෙහිද ?

නුවරක සෙනෙහස ලියවුණේ නුවර කේන්ද්‍ර කොට ගෙන යොවුන් වියේ සිටින තරුණ තරුණියන්ටයි. තරුණ යොවුන් පාඨකයන්ටයි. මෙහිදී මට ඕන වෙලා තිබුණේ, ගොඩක් දෙනා බරසාර හෝ ශාස්ත්‍රිය දේවල් කතා කළාට එය ඒ වයසේ අයට ගැළපෙන භාෂාවෙන්, ගැළපෙන විෂය කතා කළ යුතු යැයි මම තීරණය කළා. ඒ නිසා බොහොම ආසන්න සරල ප්‍රායෝගික විෂයක් කතා කරන්නත් මට ඕන වුණා.

l ඔබේ ලියවිල්ල මල් පත්තර කලාවට සමානයි. අසංජානනිත් එහෙමයි. මේ ශෛලිය තෝරා ගත්තේ ඇයි ?

සමාජයේ විවිධ විස්තරවල ඉන්න අයගේ අධ්‍යාපන මට්ටම වෙනස්. විවිධයි. ඒ වගේම එයාලගේ ඇසූ පිරූ දේවල් වෙනස්. අත්දැකීම් වෙනස්. ඒ අයට එදිනෙදා ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරිව නොයෙක් ආකාරයේ බැරෑරුම් ගැටලුවලටත් පත්වෙනවා. ඒ නිසා ඒ අයට ගැළපෙන සරල භාෂාවකින් ලියන එකත් තමයි අසංජානනී කියන්නේ. එක්තරා තරුණියක් තමන්ගේ විවාහයෙන් පසුව පැරණි පෙම්වතා සමඟ අසම්මත ප්‍රේමයක පැටලෙනවා. ඇයගේ විවාහයත් දෙදරා යනවා. ඇය නොයෙක් ප්‍රශ්නවලට පැටලෙනවා. මේ වගේ දේවල් සිදුවෙන්නේ මෙවන් ප්‍රශ්න නිසයි කියන එක මට පැහැදිලිව පෙන්වලා දෙන්ට ඕන වුණා.

l ඔබේ දිගැසි ප්‍රකාශන ආයතනය ගැන කතා කරමු.

මම මගේ පළමු කවි පොත ප්‍රකාශයට පත්කරන්න ගිහිල්ලා නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මගේ නොදැනුවත්කමින් නොතේරුම්කමෙන් බොහෝ දෙනා ප්‍රයෝජන ගත්තා. මම එක්තරා ප්‍රකාශ­ිකාවකගේ මූල්‍ය වංචාවකට හසුවුණා. මට ලොකු පාඩුවක් සිදුවුණා. පසුවත් මට පොත ප්‍රකාශයට පත් පත් කරන්න ගිහින් නොයෙක් අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වුණා. එදා මම තීරණය කළා මම ප්‍රකාශන ආයතනයක් පටන් ගන්නවා කියලා. පොත් ප්‍රකාශනයට නැඹුරු වෙන්න බලාපොරොත්තු වෙන නවකයන්ට මේ මට වෙච්ච අපහසුතා හා රැවටීම්වලට හසු නොවී ඔවුන්ගේ ප්‍රකාශනය සිදු කරගන්න පුළුවන් ආයතනයක් ගොඩනඟන්නට ඕන කියලා මට හිතුණා. ඒ අරමුණින් තමයි මම 2024 දිගැසි ප්‍රකාශන ආයතනය පටන් ගත්තේ. මේ වෙනකොට මං පොත් හයක් විතර ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

l ග්‍රන්ථ විචාරය ගැන ඔබට යම් අදහසක් ඇති. ලියන්නෙකුට විචාරය කුමන බලපෑමක් වේවි කියා ඔබ සිතන්නේද ?

ග්‍රන්ථ විචාරය හොඳ දෙයක්. ඒත් ඇතැම් අය දිගින් දිගටම යම් පොතක් ගැන හෝ ලේඛිකාවක් ලේඛකයෙක් ගැන තදට විචාරයක යෙදෙයි නම් ඒ වැරදි ආකල්පය කියවන කෙනා අතට යනවා. ඇතැම් වෙලාවට ලේඛකයන්ට ඒක නරක විදියට බලපානවා.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT