ජීවිතය සේම මාතෘත්වයද මේ යැයි විදහා දක්වන කෙටි කතාවකි. ආරම්භයේදි පාඨකයා මවාගන්නා ලෝකය අවසායේදි කැඩී බිඳී යන්නේ අතිශයින් ඛේදජනක අන්දමිනි. සියල්ල යහපත් හා සමෘද්ධිමත් බවට වරදවා වටහා ගන්නා පාඨකයා එකී මුලාවෙන් ගොඩ එන්නේ කතාව කියනු ලබන්නාගේ සැක සංකා අතරතුරය. ලොකු අම්මා මවා පාන යස ඉසුර හා තෘප්තිමත් සුවපහසු ජීවිතයත් යථාර්ථයත් අතර අහසට පොළොව බඳු පරතරය අදහාගත නුහුණු පාඨකයා හට මහත් ශෝකයක් දනවන්නට රචිකාව සමත් වෙයි ඒ සඳහා ඇය සීරුවෙන් හා සුමට අන්දමින් දරන ප්‍රයත්නය හද සසල කරයි. වාණිජකරණයේ ඛේදවාචකය විදහා දක්වන්නට ලේඛිකාව ආයාසයක් නොදරයි. ගරා වැටෙන ගෙයත් සෝභා සම්පන්න හෝටලයත් අතර දෝලනය වෙමින් මුදල් අන් සියල්ලට වඩා ඉහළින් වැජඹෙන බව ඒත්තු ගන්වයි. මවකගෙ දාරක ස්නේහය කොතරම් බලවත්දැයි කිවහොත් ඇය සිය පුත්‍රයාගේ අනාදරය සඟවා ගනිමින් මුසා බස් කියයි. ඒ වංචාකාරී සිතින් නොව හුදෙක් මාතෘ ස්නේහය කරණ කොටගෙනය. ඇගේ ප්‍රකාශ හා ඇසින් හදින් දකින හඟින යථාර්ථය අතර විපිළිසර වන කතානායිකාව පෙරට පැන යම් යම් නිගමනයන් ගෙන හැර දක්වන්නට තැත් නොදරයි. සැබැවින්ම නිසල ජල තලයට විසි කළ ගලක් සේ අසත්‍යයේ සළු පිළි මුදා හැර සත්‍යය නිරුවත් වන කල පාඨක සිත් සතන් තුළ වාණිජකරණයේ ගොදුරක් වූ වෙළෙඳ පුතු කෙරෙහි පවා අප්‍රසාදයක් ජනිත නොවෙයි. අප පය ගසා හිඳින පොළොවේ පාදඩත්වය විසින් මනුසත් බවද ගිලගෙන මාතෘත්වය පවා අසරණ කර දමන ආකාරය සංයමයෙන් හා සුලලිතව නිර්මාණය කරන ලද ලොකු අම්මා කෙටි කතාව ප්‍රශස්ත කෙටි කතාවක් බව සඳහන් කළ හැකිය. කෙටි කතාව සතු බුහුටි හා ප්‍රබල බව මනාව නිරූපිත නිර්මාණයකි – ශාන්ති දිසානායක
දුම්රිය නැවතුම්පොළේ සිට, ලොකු අම්මලාගේ ගෙදරට වැඩිදුරක් නොමැත. අපි ඒ කෙටි දුර පයින්ම ගමන් කළෙමු. නිෙවසේ දොර ජනෙල් හැර දමා තිබුණද, කිසිවෙක් එහි පෙනෙන්නට නොසිටියහ. නිෙවසට පළමුවෙන්ම ගොඩ වූ මම දෙතුන් වතාවක් දොරට තට්ටු කළෙමි. ලොකු අම්මා අසනීපයෙන්දැ’යි මට එක්වර සිතුණි. තවත් දෙතුන් වතාවක් දොරට තට්ටු කිරීමෙන් පසුව, කුඩා දැරියක් සාලයේ සිට එළියට ආවාය.
“ කෝ…..ලොකු අම්මා නැද්ද ”
“ලොකු නෝනා හෝටලයට ගියා. මං ගිහින් එන්න කියන්නම්. ඇවිත් වාඩි වෙන්න….”
එසේ කී දැරිය, නැවත සාලය දෙසටම දිව ගියා ය. නිෙවස තුළට නොගොස් ආලින්දයේ තිබූ පුටුවක මම අසේලට හිඳ ගන්නට සැලැස්සුවෙමි. මමද අසල තිබූ පුටුවක වාඩි වූයෙමි. වත්තේ දකුණු පසට වන්නට අලුතින් ඉදිකර තිබූ, නවීන පන්නයට තැනූ දෙමහල් හෝටලය මා සිටින තැනට අපූරුවට පෙනේ. සංචාරක ව්‍යාපාරය නිසා ඉතා ඉක්මනින් දියුණුවට පත් වූ නගරයක මෙවැනි කුඩා හෝටලයකින් වුවද, ඔවුනට විශාල ආදායමක් ලැබෙනු ඇතැයි මට සිතුණි. හෝටලයේ පිටුපස දොරින් මිදුලට බැස ආ ලොකු අම්මා කුඩා දැරියගේ අතින් අල්ලාගෙන අප සිටින තැනට කඩිනමින් ආවාය.
“මේ ළඟ ගෙදරක දරුවෙක්. මගේ තනියට නිතරම දුවගෙන එනවා. මෙච්චර වෙලා බලාගෙන ඉඳලා මම හෝටලය පැත්තට ගියා. යමු ඇතුළට.”
ලොකු අම්මා පොඩි දුවගේ හිස අතගා, ඇය ළංකර ගැනීමට තැත් කළාය. නිතර දැක පුරුදු නැති නිසාදෝ දුව ලැජ්ජාවෙන් මෙන්, ලොකු අම්මාගේ මුහුණ දෙස බලා තව තවත් අසේලට තුරුලු වූවාය. ලොකු අම්මා පසුපසින් අපි නිෙවස තුළට ආවෙමු.
“පුතාලට ඉස්සරහ කාමරය ලෑස්ති කරලා තියෙනවා. මුහුණ කට සෝදගෙන ඇඳුම් මාරු කරගෙන ඉන්න. බඩගිනිත් ඇති නේ….”
සාලය සහ ආලින්දය මෙන් ඒ කාමරයද පාළුවට ගොස් තිබුණි. කාමරය මැදට වන්නට තබා තිබූ ඇඳ හැරෙන්නට එහි වූයේ, පැරණි ටීපෝවකුත්, වැල් කැඩුණු පුටුවකුත් පමණි. මුහුණ කට සෝදා ඇඳුම් මාරු කර ගත් අප තිදෙන, නැවත සාලයට පැමිණෙන විට ලොකු අම්මා හාන්සි පුටුවේ වාඩි වී මොනවාදේ දෙයක් ගැන බර කල්පනාවකින් සිටියාය.
“අපි ආ එක..ලොකු අම්මාට කරදරයක් උනාද දන්නේ නෑ…”
“මොන කරදරයක් ද දරුවෝ… ? ඉඳහිටලවත් ඔය ළමයි මෙහෙම ඇවිල්ලා යන එක කොච්චර සන්තෝසයක් ද මට…?
ලොකු අම්මා පැවසුවේ හද පිරි සෙනෙහසකින් යැයි මට හැඟුණි. වසර හත අටකට පෙර, මේ නිෙවසට මා කීප වතාවක්ම ඇවිත් ගියා මතකය. ඒ මගේ මවුපියන් සමඟය.
“අපට වගේද ලොකු අම්මට ? මොනවයින් අඩුවක් කියලද?
ලොකු අම්මා ගැන කතා කරද්දි ඒ දිනවල අම්මා කිවුවේ එලෙස ය. විවාහවීමට පෙර ඉතා කුඩා ව්‍යාපාරයක් ලොකු තාත්තා සතු විය. එහෙත්, ලොකු අම්මා සමඟ විවාහ වූ පසු ලොකු තාත්තා මහා පොහොසතකු වූ අන්දම තාත්තා දන්නා හඳුනන අයට විස්තර කරන්නේ ඉමහත් සතුටෙනි.
දහවල් කෑම ලොකු අම්මා සූදානම් කර තිබුණේ හෝටලය තුළ වූ විශේෂ කාමරයකය. අතිවිශාල හෝටලයක් නොවුන ද පැමිණෙන ඕනෑම කෙනකුගේ සිත් ඇඳ බැඳ තබා ගන්නා විලසට එය විසිතුරු ලෙස නිම කර තිබුණි. තැනින් තැන තබා තිබූ මල් බඳුන් ද , නවීන පන්නයට සැරසිලිවලින් අලංකාර කරන ලද බිත්ති ද, සතර දෙසින් නිකුත් වී දෙසවනට වැටෙන මියුරු සංගීතය ද පරිසරයට නැවුම් බවක් එක් කර තිබුණි.
වික්‍රමසේකර ව්‍යාපාරවලට අනුබද්ධ වු අලුත් ම අංගය රංජන් අයියාගේ මේ සංචාරක හෝටලය බව, අපි ලොකු අම්මාගෙන් දැන ගතිමු.
“ලොකු පුතා වැඩක් කළොත් අන්තිම ඉහළින් කරන්නේ…..මගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නෑ මේකට. ඒත්… ඉතින් බලනකොට වරදකුත් නෑ. හිතුවට වඩා ලොකු ආදායමක් දවසකට ලැබෙනවා කියලා පුතා කියන්නේ…..”
සුදු නිල ඇඳුමෙන් සැරසුණ සේවකයෙක්, කෑම බඳුන්වලින් මේසය සැකසුවේය. අප කැටුව ලොකු අම්මා, කෑම මේසය වෙත ගියේ මහත් වු ආඩම්බරයෙනි. මුල් පුටුවේ අසුන්ගත් ලොකු අම්මා ඉතාමත් ළෙන්ගතුකමින් අපට කෑම බෙදන්නට පටන් ගත්තා ය.
“කෝ…ඉස්සර වෙලා මං පොඩි දුවට බෙදන්න. දෙන්න පිඟාන මට….”
ලොකු අම්මා දුවගේ පිඟානට කහ බත් හැඳි දෙක තුනක් බෙදා දී අසේලට ද මට ද බත් බෙදා දුන්නා ය. අනතුරුව ඇගේ පිඟානට කැකුළු හාලේ බත් ස්වල්පයක් බෙදා ගත්තා ය.
“පුතා කෝකියට කියලා ගිහින් තිබුණා හොඳට කෑම ටික හදන්න කියල . ඒත් මාත් ටිකක් ඇවිත් හොයා බැලුවා. මොනව උනත් මගේ හිතට හරි මදි… ගෙදර කෑම ටිකක් දෙන්න ලැබුණ නම් තමයි හොඳ කියලා මට හිතුණා…ඒත් ඉතින්…..”
“මේ ඕනැවටත් වැඩිය හොඳයි ලොකු අම්මේ”
ලොකු අම්මා බෙදා දුන් කෑමවල රස බලන අසේල එක්වරම කීවේ ය.
ආහාර ගෙන අවසන් වූ පසු ලොකු අම්මා ඒ අසලම තිබෙන නිදන කාමරයට අප කැඳවාගෙන ගියා ය.
“දුවලට මහන්සිත් ඇතිනේ….? ඕන නම් ටිකක් මෙහෙන් හාන්සි වෙලා ඉඳලා එන්න. මේ ලොකු පුතාගේ කාමරය…”
සුදු ඇඳ ඇතිරිල්ලකින් සැරසූ සුව පසු ඇඳක්, නවීනතම අල්මාරියක්, කණ්ණාඩි මේසයක්, රූපවාහිනී යන්ත්‍රයක් සහ පරිගණකයක්, වායු සමනය කළ ඒ කාමරය තුළ විය.
“ලස්සනයි නේද අසේල කාමරය….”
මා අසේලගෙන් එසේ ඇසුවේ, ලොකු අම්මා දෙස බලාගෙන ය. එවිට ලොකු අම්මාගේ මුහුණේ ආඩම්බර සිනාරැල්ලක් මතු වී එන අයුරු මම දුටුවෙමි.
“එහෙමනම් පුතාලා ටිකක් වෙලා ඉඳලා එන්න…”
ලොකු අම්මා කීවා ය.
“නැහැ ලොකු අම්මේ ගෙදරම යමු…”
අසේල ද මගේ අදහසට එකඟ විය. ලොකු අම්මා සමඟ අපි නැවත නිෙවසට ආවෙමු.
ස්වල්ප වෙලාවක් අප සමඟ කතා කරමින් සිටි ලොකු අම්මා
“මාත් ටිකක් හාන්සි වෙන්නම් දුවේ…මහන්සි වගේ …..”
කියමින් ඇගේ කාමරයට ගියා ය. අසේල ද නිදා ගැනීමට අවශ්‍ය බව කියමින් දුවත් සමඟ අපට වෙන් කර තිබූ කාමරයට ගියේ ය. එතරම් කෙඩෙත්තු ගතියක් නොවූ නිසා, මම සාලයට වී අලස ලෙස ඒමේ අත ගමන් කළෙමි. මුළු සාලය පුරාම ඇත්තේ හිස් බවකි. ඒ හිස් බවේ ඇරඹුම කොතනකදැ’යි මට සිතා ගත නොහැකිය. සිවිලිමේ තැනින් තැන කළු පුස් මතු වී තිබුණි. ජනෙල් පියන්පත් පිස දැමූ කාලයක් සිතා ගැනීමට නොහැකි ය. සායම පිලිස්සී ඉරී ගිය දොර ජනෙල් රෙදි නිසා මුළු නිෙවසම තව තවත් අඳුරු පැහැයක් ගෙන ඇතැයි මට සිතුණි. රවුම් ටීපෝව මත පැරණි ඡායාරූපයක් විය. එහි ලොකු තාත්තාත්, ලොකු අම්මාත්, අයියලා දෙදෙනාත්, අක්කාත් වූහ. එය අයියලාගෙත්, අක්කාගේත් ළමා කාලයේ ගත් ඡායාරූපයකි. ලොකු අම්මා එහි කට පුරා සිනාසෙමින් සිටින්නීය. මල් වැටුණ සාරියක්ද, සුදු ලේස් දිග හැට්ටයක් ද හැඳගෙන සිටින ඇගේ එක් අතක වළලු රැසකි. ගෙලෙහි මුතු මාලයකි. ලොකු අම්මා අද ඇඳ සිටියේ මඳක් දුඹුරු පැහැ ගැන් වී තිබුණ සාරියකි. සාරියට නොගැළපෙන පාටකින් මසා තිබූ හැට්ටයේ තැනින් තැන නූල් ගැල වී තිබුණි.
එක් විටම ලොකු අම්මාගේ කාමරයෙන් සිහින් කෙඳිරිලි හඬක් මතු විය. මම ඇගේ කාමරයේ දොර ළඟ ට ගොස්, දොර රෙද්ද මෑත් කළෙමි. ලොකු අම්මා තද නින්දේ පසු වුවා ය. යළිත් සිහින් කෙඳිරිලි හඬක් නැංවූ ලොකු අම්මා අනික් ඇලයට හැරුණා ය. ඇඳ ක්‍රීස් හඬක් නංවමින්, ඒ අතට මේ අතට පැද්දුණි. ඇඳට දමා තිබූ ඇඳ ඇතිරිල්ල මාස ගණනකින් නොසෝදා ඇති සේය. දෙකකුල්වලට අසු වී, ඇඳ ඇතිරිල්ලේ එක් කොනක් ගුළි වී ගොස් තිබුණි. පැරණි මෙට්ටයේ කවරය දෙතුන් පළකින් ඉරී ගොස් ය.
මම නැවත සාලය දෙසට හැරුණෙමි. රංජන් අයියාගේ සංචාරක හෝටලය මහ ගෙදර ජනෙල් කූරු අතරින් මගේ නෙතට හසු විය.
“හාන්සි උන ගමන් දන්නෙ ම නැතුව නින්ද ගියානේ දුවේ…. ”
ලොකු අම්මා මා පිටුපසින් සිටගෙන සිටියාය.
“කොච්චර කාලයකට පස්සෙ ද ආවේ….? ඉස්කෝල නිවාඩු නිසා දවසක් දෙකක් ඉඳලා යන්න දුවේ…”
බැගෑපත් ලෙස එසේ පැවසූ ලොකු අම්මා පුටු ඇන්දට බර දී හෙමිහිට හිඳ ගත්තාය. හෙටම යාමට අවශ්‍ය වුව ද ලොකු අම්මාගේ හිත රිදෙන අයුරින් කිසිවක් කීමට මට නොසිතුණි. අසේල පොඩි දුවත් සමඟ පැමිණ අප සිටින තැනම හිඳ ගත්තේය.
“ ලොකු තාත්තා නැති පාඩුව විඳගන්න බෑ දුවේ…”
ලොකු අම්මා යළිත් නිහඬ බව බින්දා ය.
“අපි හිතුවා රංජන්ලා අද ගෙදර ඉඳීවි කියලා”
අසේල එක්වර කීවේය.
“බිස්නස් වැඩවලට ගියාම වෙලාවක් අවේලාවක් නෑ නේ ළමයෝ…..අදත් ඇරෙන්න බැරි වැඩක් නිසා ඉන්න බැරි වුණේ ”
ලොකු අම්මා පැවසුවා ය. ලොකු තාත්තගේ රෙදිපිළි ව්‍යාපාරය නවීනතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් ලෙස ගොඩනංවාගෙන එහි හිමිකරු බවට පත්ව සිටින්නේ කමල් අයියා ය. ඔහු පවුලේ දෙවැනියාය. රංජන් අයියත්, කමල් අයියත් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ ගාලු නගරයේය. ලොකු තාත්තගෙන් ලැබුණ දේපළ සමඟ පුංචි අක්කා සුසන්ත අයියා සමඟ’ විවාහ වී ලන්ඩන් නගරයේ සුඛෝපබෝගි ජීවිතයක් ගත කරන්නීය.
“දරුවන්ගේ ඉස්කෝල ගමන නිසා ඒගොල්ලෝ ගාල්ලෙ නැවතුණේ දුවේ. ඒත් ඉතින් හැමදාම උදේ හත වෙනකොට මෙහාට එනවා. ගාල්ල, අම්බලන්ගොඩ ඒ හැටි දුරක් නෙවෙයිනේ. ඒ ආවමත් මං ගැනමයි වැඩිපුර හොයන්නේ. මල්ලිකා දුව ඇවිත් ගේ දොර අතුගාල දීලා යනවා හැමදාම”
ලොකු අම්මා මල්ලිකා දූ යයි කිවුවේ කමල් අයියාගේ බිරියටය. දිනපතා ගේ දොර අතුගාන බවට සලකුණක්වත් නිෙවස තුළ දැකිය නොහැකි තරම්ය. මුළු නිෙවසටම දැන් ඇත්තේ පුටු පහ හයක් පමණි. ඒ පුටු කිහිපයේ ද පෙර තිබූ ඔපවත් බව නොමැත. ඒවායේ සෑම තැනක්ම දූවිල්ලෙන් වැසී ඇත.
“මම ගෙදර වැඩක් පලක් කරනවට පුතාලා කැමැති නැහැ දුවේ. මටත් එක්ක පොඩි පුතා කෑම ටික ගේනවා.”
ලොකු අම්මා යළිත් කතා කළාය. සෑහෙන කාලයකට පසුව හමු වූ බැවින් ජීවිතයේ එදිනෙදා තොරතුරු සියල්ල අප සමඟ බෙදා ගැනීමට ඇයට අවශ්‍ය වී ඇතැයි මට සිතුණි.
“තේ ටිකක් බොමු නේද දුවේ”
ලොකු අම්මා එසේ කියා පුටුවෙන් නැඟිට්ටා ය. මම ද පුරුද්දට මෙන් ඇය පසුපසින් කුස්සියට ගියෙමි.
“ගිය සතියේ කමල් පුතා මාව ඩොක්ටර් සේනබන්දු ළඟට එක්ක ගෙන ගියා. මට ඇති අමාරුවක් නැහැ ළමයෝ. ඒත් මේ ළමයි පොඩ්ඩක් කෙඳිරි ගානවා ඇහුණොත් ඩොක්ටර් ළඟට එක්කන් යනවා”
ලොකු අම්මා එක දිගටම කතා කළාය. මම ඇයව ළිප ළඟින් පසෙකට කර ළිප ගිනි අවුලවන්නට වීමි. දර කැබලි කිහිපය ඇවිළෙන්නට පටන් ගත්තේය. ලොකු අම්මා ඇවිළෙන ගින්දර දෙස ඇසි පිය නොහෙළා බලා සිටියාය. මම කුස්සිය දොරෙන් මිදුලට බැස්සෙමි. වත්තේ කොස්ගස්වල ගෙඩි එක දෙක බිම වැටී ඇත. කොස් කොළ මිදුල පුරාම දැකිය හැකි විය. දර මඩුව අසල තරුණියක් පොල් ගෙඩියක් ලෙලි ගසමින් සිටියාය. මම ඈ වෙතට ගියෙමි. පොල් ගෙඩිය ලෙලි ගැසීම නවතා ඈ හිස ඔසවා මා දෙස බැලුවා ය.
“වත්තත් පාළුවට ගිහින් ”
මට කියැවුණි.
“මේවා හැම දෙයක්ම හොයා බලන්න ලොකු නෝනට සනීපයක් නෑ නේ…මාත් මේ ඉඩ තියෙන වෙලාවට ඇවිත් උදවු කරලා යනවා. තනියම උයා පිහා ගන්නත් අමාරුයි නේ…”
ඕ පැවසුවාය. හදිසියේම වත්තට ඇතුළු වූ දැවැන්ත මෝටර් රථයක් අප සිටින තැන පසු කර මඳක් ඈතට ගොස් නැවතුණේය. ඒ රංජන් අයියා ය. මෝටර් රථයෙන් බැස මා සිටින තැනට ආ රංජන් අයියා
“මේ ගොල්ලන්ටත් අපිව මතක් වෙලා තියෙන්නේ…. ” යැයි නෝක්කඩුවට මෙන් පැවසී ය. මම කිසිවක් නොපවසා මුව පුරා සිනාසුණෙමි.
“අද නම් අම්මගේ කෙඳිරිය හොඳ වෙලා ඇති. උදේ ඉඳලා දුම් දාගෙන දවල් කෑම උයන්න ඇති නෑදැයින්ට. තිබුණ ද ජනප්‍රිය පොළොස් මාළුව එහෙම ? ”
රංජන් අයියාගේ ඒ වචන කිහිපය සමඟ ලොකු අම්මා දහවල් කෑම බෙදන අතරේ පැවසු වචන මා හට සිහිපත් විය.
“දූලා එන ආරංචිය කිවු ගමන් ලොකු පුතා කිවුවේ “ මං නැතුවට කමක් නෑ, මගේ ගණනේ දවල් කෑම හෝටලයේ ලෑස්ති කරන්න” කියලා….”
ලොකු අම්මා එවැනි බොරුවක් කිවුවේ තම දරුවනුත්, අපත් අතර දුරස් වෙමින් පවතින සුහදතාව, යළිත් දැඩි කරන්නට විය යුතු ය. ලොකු අම්මා කොතරම් වසන් කිරීමට තැත් කළ ද නිෙවසත්, අවට වටපිටාවත් සත්‍යය කුමක්දැයි කියා පාන්නා සේ විය. හිස් වූ මහගෙදරත්, පාළුවට ගිය ගෙවත්තත් මගේ සිත සිතුවිලි රාශියක් මැද අතරමං කළේය.
චාන්දනී දේවිකා පුංචිහේවා