Home » ආණ්ඩුව පෙරළන්න අපට අදහසක් නෑ
විකල්ප මතය

ආණ්ඩුව පෙරළන්න අපට අදහසක් නෑ

-පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානික්කියන් රාසමාණික්කම්

by sachintha
March 13, 2025 4:00 pm 0 comment

ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය එහෙමමයි

පාර්ලිමේන්තුවේදී කතා කරන්න දෙයක් නෑ

අපේ අපේක්ෂාව නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමයි

අපි ඉන්නෙ වෙනස් ස්ථාවරයකයි

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සමඟ කාලීන දේශපාලනය පිළිබඳ කළ සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් උතුරු-නැඟෙනහිරට අමතරව කොළඹටත් ඉදිරිපත් වෙන බවට වාර්තා පළ වුණා. ඒ සූදානම කොහොමද?

දෙමළ ජාතික සන්ධානය ලෙස අප ප්‍රධාන පක්ෂ 3ක් සන්ධානගත වෙලයි හිටියෙ. ඒත් අපේ ප්‍රධාන පක්ෂය ඉලංකෙයි තමිල් අරසුකච්චි. පහුගිය මහමැතිවරණයට අපි තරග කළේ ඒ පක්ෂයෙන්. අපි ඉදිරියට යන්නේ මේ පක්ෂය හැටියටම තමයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දයට ඉදිරිපත් වෙන්න අපේ සාකච්ඡාවක් තිබුණු බව ඇත්ත. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපේක්ෂකයින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් එවා තිබුණා. ඒත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුණු මන්ත්‍රී කෙනෙක් අපට නෑනෙ. මේ කාලෙ අය වැය යෝජනා භාරදීම, දිස්ත්‍රික්කවල ඇප තැන්පත් කිරීම්, නාමයෝජනා සැකසීම් සිද්ධවෙනවා. ඒ වැඩත් එක්ක අපි කාර්යබහුල වුණා. ඉතා කෙටි කාලයක් නිසා මේ සැරේ වැඩ ටික කරගන්න බැරි වුණා. ඒ නිසා මේ සැරෙත් උතුරු -නැ‍ඟෙනහිරට පමණක් සීමාවෙන්න තීරණය කළා.

එයින් අදහස් වෙන්නේ ඉදිරියේදී රටේ සෙසු දිස්ත්‍රික්කවලටත් ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තියෙන බවද?

අනිවාර්යයෙන්. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය වගේ එකක් ආවොත් අපි කොළඹ සඳහා නියෝජිතයින් ඉදිරිපත් කරනවා.

ඔබ උතුරු-නැඟෙනහිර නියෝජනය කරන කෙනෙක්. ඉතා සුළු ප්‍රදේශයක් හැරුණු විට ඒ ප්‍රදේශවල ජනයා මේ ආණ්ඩුවට ඡන්දය ලබාදී තිබුණා. ඉදිරි මැතිවරණයේදීත් ඒ ජනමතය ඒ විදිහට පවතීද?

උතුරු පළාත තුළ වත්මන් ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ බව ඇත්ත. නැඟෙනහිර පළාතෙත් ත්‍රිකුණාමලය සහ අම්පාර උපරිම ආසන ටික ආණ්ඩුවට ලැබුණා. මඩකළපුවෙ විතරයි අන්ත පරාජයක් ලැබුවෙ. උතුරු-නැඟෙනහිර ජනයා ඡන්දය දුන්නේ ගොඩක් බලාපොරොත්තු එක්ක. මේ වෙද්දි ඒ බලාපොරොත්තු විශාල වශයෙන් බිඳවැටිලා තියෙනවා. මේ වෙද්දි ආණ්ඩුව අප්‍රසාදයකට ලක්වෙලා තියෙනවා. ඒකට හේතුව උතුරු-නැඟෙනහිර නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නොහැකියාව කියලත් කියන්න පුළුවන්. මේ අය පාර්ලිමේන්තුවෙ කතා කරන්නෙ ඉතාමත් අඩුවෙන්. යාපනය හෝ වවුනියාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගත්තම පාර්ලිමේන්තුවේ 224න් ඒ අන්තිම ස්ථානවල තමා ඉන්නෙ. දෙපාරකට වඩා කතා කරලා නෑ සහ ඒ අයට මොනවද කතා කරන්න තියෙන්නෙ. පක්ෂයක් හැටියට ජාතික ජන බලවේගය කැමති නැති දේවල් තමා ඒ අයට කතා කරන්න වෙන්නෙ. ඒ නිසා ඒ අය කතා නොකරන තැනකට පත්කරලා තියෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්නය, අතුරුදන් කළවුන්ගේ ප්‍රශ්නය, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ දිගු කාලීනව නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමයි අපේ ජනයා බලාපොරොත්තු වුණේ. ඒ දේවල්වලට මේ වෙද්දි ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ ඒතරම් ඉඩක් නෑ. ඒ නිසා ඒ අයට කතා කරන්න දෙයක් නෑ. ඒ නිසා කතා කරන්නෙ නෑ. එහෙම වුණාම ජනතාවට තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මේ නියෝජිතයින් කිසිවක්ම කරන්නෙ නෑ කියන දේ තහවුරු වෙනවා. අලුතෙන් අධිවේගී මාර්ගයක් හැදීම දවසින් දෙකකින් කරන්න බැරි බව අපි පිළිගන්නවා. ඒත් දවසින් දෙකකින් එක පෑන් පහරකින් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒ දේවල් ටිකවත් නොවුණු එක ගැන අපට කනගාටුයි. එහෙම වුණා කියලා මේ පළාත් පාලන මැතිවරණයෙනුත් අන්ත පරාජයක් ලබාවි කියලා මං හිතන්නෙ නෑ. හැබැයි මහමැතිවරණයේ තරම් ජන වරමක් මේ සැරේ ලැබෙන්නෙ නෑ. ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය එහෙමමයි. ඒත් ඒක විතරක් ප්‍රමාණවත් නෑ.

ආණ්ඩුවට ජනප්‍රියත්වය අඩු වුණාට විපක්ෂයේ ජනප්‍රියත්වය වැඩි වෙලා නෑ. එහෙම වුණාම වෙනසක් වෙයිද?

2020 සිට තිබුණු ගෝඨාභයගෙ ආණ්ඩුව ඉතා ශක්තිමත්. ඒ කාලෙත් විපක්ෂය ඉතා දුර්වලවයි තිබුණේ. අසීමිත බලයක් ලැබීමම විනාශයේ මුලයි. ගෝඨාභයගේ ඒ ආණ්ඩුව ඉතා ඉක්මනින් විනාශය කැඳවා ගත්තු බව අප අමතක නොකළ යුතුයි. ගෝඨාභයට නිල කාලය ඉවර වෙන්තත් කලින් ගෙදර යන්න වුණේ විපක්ෂයේ මැදිහත්වීමකින් නෙවෙයි. යම් යම් දේශපාලන වුවමනාවන් තිබුණත් ඒක ස්වාධීනව මතුවුණු ජන අරගලයක්. ඒ නිසා ආණ්ඩුව වැටීමට ප්‍රබල විපක්ෂයක් ඕන කියන එක ඒ තරම් වලංගු නෑ. අදටත් ප්‍රබල විපක්ෂයක් නැති වුණාට පුද්ගලික වශයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහිව ජනමතය හදන්න විශාල වෙහෙසක් ගන්නවා. ඒත් අපි ඉන්නෙ වෙනස් ස්ථාවරයකයි.

ඔබ හා ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ වෙනස් ස්ථාවරය මොකක්ද?

ප්‍රධාන පක්ෂ විසින් ආණ්ඩුව පෙරළලා බලය ගන්න, කුමන්ත්‍රණය කරලා බලය ගන්න හැදුවට අපි කරන්නේ ඒක නෙවෙයි. කොහොමත් අපට ආණ්ඩු බලය ගන්න බෑ. අපි කල්පනා කරන්නෙ තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් නිසි දිශානතියකට තල්ලු කරන්නයි. ඒ වෙනුවෙන් බලපෑම් කිරීම තමා අපේ දේශපාලනය වෙන්නෙ. අපටත් පොදුවේ රටටත් පවත්නා ගැටලුවලට නිසි විසඳුම් ලබාගත හැක්කේ ශක්තිමත් ආණ්ඩුවක් හරහා පමණයි. ඒ විභවතාව මේ ආණ්ඩුව යටතේත් අපට තියෙන බව අප පිළිගන්නවා.

ඒ කියන්නේ ඔබලාට ඇත්තේ ආණ්ඩුව පිළිබඳ සාධනීය අදහසක්?

නෑ, මං අදහස් කළේ ඒකම නෙවෙයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම අපේ මූලික ඉල්ලීමක්. තුනෙන් දෙකක ශක්තිමත් බලයක්, පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවකට පමණයි එවැන්නක් යථාර්ථයක් කළ හැක්කේ. ජනාධිපතිවරයාගෙ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් ඒ කතාව කියල තියෙනවා. ඉතිං පොරොන්දු වූ දේවල් කරන්න ශක්තිමත් ආණ්ඩුවකුත් තියෙනවා නම්, ඒක කරන්න මේ අයට ඇත්ත වුවමනාවකුත් තියෙනවා නම් ඒක කරවා ගන්න කටයුතු කරන එක තමයි අපි කළ යුත්තේ. ජනාධිපතිවරයා සහ අපි අතර පැවති සාකච්ඡාවේදී එතුමා කීවෙ අවුරුදු 3ක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගේන බවයි. පහුගිය සතියෙ මං ඒ ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න කළාමත්, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව කීවා. අපට එතකොට එන ප්‍රශ්නය මේ කාලසීමාව පිළිබඳ කාරණයයි. මේක කල් දාන්න සාධාරණ හේතුවක් තියෙනවාද? මොකද ජනතාවගේ ප්‍රසාදය තියෙන අවස්ථාවේදී මේ භාරදූර කටයුත්ත කරලා ඉවර කරන්න අවශ්‍යයි.

අය වැය 2025 ගැන පක්ෂයේ ස්ථාවරත්වය මොකක්ද?

අපි අය වැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්නෙ නෑ. ඡන්දය දීමෙන් වැළකී සිටීම තමයි අපේ ස්ථාවරය. විරුද්ධ නොවුණේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තුව තවමත් අපට තිබෙන නිසා අලුත් ව්‍යවස්ථාවක් නෑ කියලා අය වැයට කලින් ජනාධිපතිවරයා කීවා නම් අපි අනිවාර්යයෙන් අය වැයට එරෙහිව ඡන්දය දෙනවා. ඒත් එහෙම නොවුණු නිසා තාමත් අපි සුබවාදීව මේ දිහා බලනවා. අලුත් ව්‍යවස්ථාවකින් දේශපාලන වටපිටාව සකස් කරනතෙක් මොන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන ආවත් ප්‍රායෝගික නෑ. මොකද රටේ ඒ ඒ ප්‍රදේශ සංවර්ධනය කිරීමට ගෙන එන ආර්ථික වැඩපිළිවෙළකට ඒ ඒ ප්‍රදේශවල ජනයා හවුල් කරගෙන, තීන්දු තීරණ ගන්නා ක්‍රියාවලියේදී ඔවුන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළ යුතුයි. ප්‍රදේශයේ තත්ත්වයන්, ප්‍රාදේශීය සම්පත්, සුවිශේෂත්වයන් හඳුනා නොගෙන ක්‍රියාත්මක කරන සියලුම වැඩසටහන් අසාර්ථකයි. අලුත් ව්‍යවස්ථාවක් හරහා මේ පාලන ක්‍රියාවලියට තීන්දු තීරණ ගන්නා පාලන ක්‍රමවේදයකට අපව ඇතුළත් කරන තෙක් අපට ක්‍රියාත්මක වෙන්න බෑ. මං උදාහරණයක් කියන්නම්, රට වටේටම මුහුද තිබ්බට, ධීවරයින් හිටියට බේරුවල හෝ මීගමුවේ හෝ ධීවර ප්‍රජාවට තියෙන ප්‍රශ්න ටික නෙවෙයි නැඟෙනහිර ධීවර ප්‍රජාවට තියෙන්නෙ. ඉතිං බේරුවල හරි මීගමුව හරි ගැන හිතලා හදන සැලසුම් අපට නැඟෙනහිරට ගළපන්න බෑ. ඒ නිසයි මේ පාලන ක්‍රියාවලිය විමධ්‍යගත විය යුත්තේ. දැනට මධ්‍යම රජය සමඟ කටයුතු කළොත් මිසක අපට ආණ්ඩුකරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න කිසිම විදිහක් නෑ.

2025 අය -වැය යෝජනා ගැන ඔබගේ අදහස මොන වගේද?

ආණ්ඩුව විසින් හැම වෙලේම අයි.එම්.එෆ්. එක වැරදිකරුවන් කරලා චෝදනා එල්ල කරනවා. ඒත් ඒක වැරදියි. මොකද අයි.එම්.එෆ්. කිසිම අවස්ථාවක බදු ගහන්න ඕන කවුද? බදු ප්‍රතිශතය කීයද, වගේ ඒවා කියන්නෙ නෑ. ඒ අය කරන්නේ ආණ්ඩුවට ආදායම් ඉලක්කයක් ලබාදෙන එකයි. රටේ ආදායම අපගේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15.1ක් විය යුතුයි කියලා තියෙනවා. හැබැයි බදු ගහන්නේ කාටද? නොගහන්නේ කාටද? ඒ කුමන ප්‍රතිශතයකින්ද වගේ දේවල් සියල්ල තීන්දු තීරණය කරන්නේ ආණ්ඩුවයි. ඒ නිසා ආණ්ඩුවෙ බදු ප්‍රතිපත්තියෙන් ජනතාව පීඩාවට පත්වෙනව නම් ඒකට අයි.එම්.එෆ්. එකට දොස් කියලා වැඩක් නෑ. පහුගිය ආණ්ඩුවලින් දුන්නු බදු සහනය බිලියන 966ක්. ෂැංග්‍රිලා හෝටලයට ඉඩමත් නිකම් දීලා, බදු අයකර නොගන්නා කාලය අවුරුදු 15ක්. එතකොට දේශීය හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයකුට ඒක හරිම අසාධාරණයක්. අපි බලාපොරොත්තු වුණේ ආණ්ඩුව මැතිවරණ කාලයේ දුන්නු පොරොන්දු අනුව මේ අය – වැයෙන් පොඩි මිනිහට සහනයක් දෙයි කියලා. වාහන ආනයනයට අවසර දුන්නට වාහනවල මිල අස්වාභාවික ලෙස ඉහළ ගිහින්. ඒකට හේතුව නම් ලීසිං කම්පැණි ටික ආරක්ෂා කරන එක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වීමයි. ලීසිං කම්පැණි වාහනවලට දෙන වටිනාකමට වඩා වැඩි මුදලක් ණය දීලා තියෙනවා මිනිසුන්ට. එතකොට අනිත් පැත්තෙන් දිය හැකි මිලටත් වඩා වාහනයකට සියයට 50ක තව බද්දක් ගහනවා. ඒ නිසා තමා වාහන මිල මෙච්චර වැඩිවෙන්නෙ. අවුරුදු 5ක් පරණ වාහන ගෙන්වන්න හැකියාව තිබුණා. ඒක වසර තුන දක්වා අඩු කළා. දැනට ලීස් කරලා දීලා තියෙන වාහනවලට වඩා වැඩි මිලක වාහන තමා ගෙන්වන්නෙ. එතකොට අර ගෙවපු මිල ගණන් සම්බන්ධයෙන් ලීසිං කම්පැණිවලට පාඩුවක් නෑ. ඒ අය ආරක්ෂා වෙනවා. ලීසිං කම්පැණි කඩා වැටු‍ණොත් ඒවායේ තියෙන්නෙත් මහජනතාවගේ තැන්පතු මුදල් නිසා ඒ සියල්ල අනාරක්ෂිත වෙලා බිඳ වැටෙනවා. ඉතිං ලීසිං කර්මාන්ත රැකගන්න සිද්ධවෙනවා. එල්.බී. ෆිනෑන්ස් එකේ ඔයා ගිහින් ලක්ෂ 50ක ස්ථාවර තැන්පතුවක් දැම්මම ඉහළ පොලියක් එක්ක යම් ආදායමක් ගන්නවා. එතකොට ඒ ලක්ෂ 50 මට දෙනවා ලීසිං එකක් හැටියට වාහනයක් ගන්න. ලීසිං කම්පැණිය කඩා වැටුණොත් ඔයාට තැන්පත් කළ ලක්ෂ 50ත් නැති වෙනවා.

ඉතිං ඒකෙන් තේරෙන්නේ මේක ආණ්ඩුවක් විසින් ගත යුතුම තීරණයක් කියන එක නේද?

ඔව්. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙවෙයි. බලයට එන්න පෙර කීව දේවලුත් දැන් මේ ක්‍රියාත්මක කරන දේවලුත් අතර පරස්පරයක් තියෙන එකයි. විට්ස් කාර් එක ලක්ෂ 12ට ගන්න පුළුවන් කියලා දැන් ලක්ෂ 80-90ක් වෙද්දි අවුලක් තියෙනවනෙ. මහා පරිමාණ ව්‍යාපාරිකයාට බදු ගහනවා කීවා. පොඩි මිනිහා ආරක්ෂා කරනවා කීවා. ඒත් ඒක වෙන්නෙ නෑ.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT