කාන්තා දිනය මහත් උත්සවශ්‍රීයෙන් සමරා දින තුනක් ගත වූයේ නැත. සමාජය උණුසුම් කරමින් කාන්තා ලිංගික හිංසනයක් පිළිබඳ මාතෘකාවක් කරළියට පැමිණියේ ය. ඒ, අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් කිරීම පිළිබඳ සිද්ධියක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟය.
ඒ සිදුවීම පාදක කොට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කොට තිබිණි. එය, හදිසියේ මධ්‍යම රාත්‍රියේ කැඳවූ වැඩ වර්ජනයකි. ඒ නිසා දිවයින පුරා රජයේ රෝහල්වලට පැමිණි අතිමහත් රෝගීහු ඉමහත් අපහසුතාවට පත් වූහ. අනුරපුරේ සිදු වූ සිදුවීමකට රට පුරා වෛද්‍ය වර්ජන කැඳවීම කොයි තරම් දුරට යුක්තිසහගත දැයි කල්පනා කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පමණක් නොව, සමස්ත වෛද්‍යවරුන්ගේ ද වගකීම බව අපි අවධාරණය කරමු.
මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධාරණය වී ඇත්තේ රාජකාරියේ නියුක්ත වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනි. අපට හැඟෙන්නේ යථෝක්ත සිදුවීමට අදාළ චුදිතයා අත්අඩංගුවට ගෙන තිබියදීත්, වැඩ වර්ජන මෙහෙයවන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෙනත් නිශ්චිත න්‍යාය පත්‍රයක් නිසා බවයි.
කවර තත්ත්වයක් යටතේ වුව ද ස්ත්‍රී දූෂකයන්ට නීති මඟින් කටයුතු කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම සහ එක ම ස්ත්‍රී දූෂණය නො වේ. කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය දක්වන පරිදි සෑම පැය අටකට වරක් ම ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණයක් හෝ ළමා අපචාරයක් සිදු වේ. මහාධිකරණවල ගොඩගැසී ඇති නඩු 30,000කින් 10,000කට ආසන්න සංඛ්‍යාවක් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වේ.
සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ කැමැත්තකින් තොරව ලිංගික සංවාසය හෝ අනෙකුත් ආකාරයක ලිංගික ප්‍රවේශනයක් ලිංගික අඩන්තේට්ටම් ගණයට අයත් වේ. මේ සඳහා මෙරට නීති පද්ධතියක් පවතින අතර, ඒ සඳහා දඬුවම් ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වෙයි. අවුරුදු 7කට නොඅඩු, අවුරුදු 20 නොඉක්මවන, බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ මුදලක් ගෙවීම ස්ත්‍රී දූෂණ වරදට දඬුවම් ලෙස දක්වා ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ සහ බලධාරීන්ගේ නීතිමය මැදිහත් වීම ඉතා ඉක්මනින් සිදු වූ අතර, චුදිතයා අල්ලා ගෙන නීතිය හමුවට පැමිණවීමට ද කටයුතු කර තිබේ.
වෛද්‍යවරුන් පෙරට පැමිණෙන්නේ තමන්ගේ වෘත්තියට අදාළ අයකුට ලිංගික අඩන්තේට්ටම් සිදු වූ විට පමණක් ද? වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන් මෙවැනි වැරදි කොයි තරම් නම් සිදු වී ඇත් ද? අතීතය අමතක වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එවැනි එක් සිදුවීමක් මතක් කර දීමට අපි කැමැත්තෙමු.
කලකට පෙර මීගමුව මහ රෝහලේ හයවැනි මහලෙන් ඇඟලුම් කම්හල් තරුණියක තල්ලු කර මරා දැමීම සම්බන්ධයෙන් චුදිතයකු වූයේ වෛද්‍යවරයෙකි. ඇය උඩුමහලෙන් තල්ලු කිරීමට පෙර බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව තිබූ බව කියවිණි. මේ අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ගයකට ගිය බවක් අපගේ මතකයේ නැත. තමන්ගේ පන්තියේ හෝ වෘත්තියේ අයකුගෙන් වරදක් වූ විට එය වරදක් යැයි නොසැලකීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසියම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත්දැයි අපි නොදනිමු.
වැඩවර්ජනය සාධාරණීකරණය කරමින් එක්තරා වෛද්‍යවරයකු කියා තිබුණේ ‘අහිංසක රෝගීන්’ යැයි කියා කොට්ඨාසයක් නැති බවයි. ඒ තර්කයේ ප්‍රතිවිලෝමය ගෙන බැලූ විට ‘අහිංසක වෛද්‍යවරුන්’ යැයි කියා කොට්ඨාසයක් ද සිටිය නොහැකි බව අපට සිතේ.
මෙහි ඇත්තේ පන්තිය හෝ වෘත්තිය පිළිබඳ ගැටලුවක් නො ව, පීඩකයා සහ පීඩිතයා පිළිබඳ ගැටලුවකි. අපරාධකරුවා ඕනෑ ම සමාජ පන්තියකින් පැමිණිය හැකි ය. මේ සිද්ධියට අදාළ අපරාධකරුවා හිටපු හමුදා සෙබළකු වන අතර, හිටපු භික්ෂුවක ද වන බව වාර්තා වේ. මේ අර්ථයෙන් බලන කල: අපරාධකරුවා ඉහළ සමාජ පන්තියේ සිට පහළ සමාජ පන්තිය දක්වා ඕනෑම ස්තරයක විහිද පැවතිය හැකි ය.
මේ අතර, වින්දිත වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද ප්‍රකාශය ද අගය කළ යුත්තකි.
ස්ත්‍රී දූෂණයට අදාළ චුදිතයන් අල්ලා දඬුකඳේ ගැසූ පමණින් හෝ සිරදඬුවම් පැමිණවූ පමණින් හෝ ගැටලුව විසඳෙන්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය කළ පමණින් ඒ ගැටලුව විසඳෙන්නේද නැත. කාන්තා දිනයේදී කාන්තා සමරු උත්සව පැවැත්වූ පමණින් කාන්තා ගැටලු නොවිසඳෙන බව අප සඳහන් කළේ මේ හේතුවෙනි. කාන්තාවට හිමි වෘත්තීය ගරුත්වය, සමාජයීය වටිනාකම නිර්මාණය කරන පරිසරයක් ගොඩනැඟිය යුතුය.
අතීතයේ සාහිත්‍ය කතාවල පැවතියේ එදා සූසැට බරණින් සැරසුණු යුවතියකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකි වූ බවයි. සාහිත්‍ය පතපොතේ එවැන්නක් සඳහන් වුව ද ප්‍රායෝගික මහපොළොවේ එය යථාර්ථයක් නොවන බව අපට හොඳින් අවබෝධ වේ.
එනිසා තනි තනි ස්ත්‍රී දූෂණවලට විරෝධය දැක්වීම හෝ වැඩවර්ජනය කිරීම වෙනුවට සමස්ත ගැටලුව විසඳා, ස්ත්‍රියට හිමි සමාජ ගරුත්වය නිර්මාණය කිරීමේ වටපිටාවක් ගොඩනැඟීමට දායක විය යුතු බව වැඩවර්ජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මතක් කර දෙනු කැමැත්තෙමු.
එමෙන් ම, අනුරපුර සිද්ධියට අදාළ චුදිතයාට මෙන් ම රට පුරා නොවිසඳුණු, උසාවිවල ගොඩගැසුණු ස්ත්‍රී දූෂණ හා ළමා අපචාරවල චුදිතයන්ට ද ඉක්මනින් දඬුවම් දෙන ක්‍රමයක් සකස් විය යුතු ය. ඒ සඳහා පවතින නීති පද්ධතිය ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි.
සමස්තය හා බැඳුණු මෙකී ගැටලුව අනුරපුර සිද්ධියෙන් සහ වැඩවර්ජනවලින් ඔබ්බට කියවා ගැනීමට අවශ්‍ය සමාජ දේශපාලනික බුද්ධිය මෙරට ජන සමාජයට ඇතැයි අපි අපේක්ෂා කරමු.