අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයින් අලුත් වැඩකට අතගසා තිබේ. ඒ පොළොවේ සිට සඳ ගමනක සජීවි අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාවක් උදාකර ගැනීම ය. මෙම අපූර්වජනක ක්‍රියාවලියට පුරෝගාමී ඇත්තේ ලෝක ප්‍රකට “ඇමේසන්” සමාගමේ නිර්මාතෘ වන ජෙෆ් බේසොස් හිමිකාරීත්වය දරන බ්ලූ ඔරිජින් සමාගම යි. බ්ලූ ඔරිජින් යනු වත්මන්හි අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැළෙන ලොව ප්‍රමුඛතම ආයතනයකි. එසේම මෙම ක්‍රියාන්විතයට ලෝක අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස කිරුළු පැළැඳි නාසා ආයතනයද සහය දක්වයි. අදාළ ව්‍යාපෘතියට නාසා ආයතනය සහය වන්නේ මෙම ක්‍රියාන්විතය ගෝලීය අවශ්‍යතාවක් වන බවට මුළු ලොවට ම අවධාරණය කරමිනි.
මෙවැනි අභ්‍යාවකාශ පර්යේෂණ ක්‍රියාවලි සඳහා භාවිතා කෙරෙන රොකට් පද්ධති ප්‍රධාන වර්ග දෙකකි. එනම්, කක්ෂීය රොකට් පද්ධති සහ උප කක්ෂීය රොකට් පද්ධති ය. කක්ෂීය රොකට් පද්ධති ග්‍රහයෙකු වටා පිහිටි නිශ්චිත කක්ෂයකට කක්ෂගත කෙරෙන අතර අනතුරුව එය එම නිශ්චිත කක්ෂයේ අදාළ ග්‍රහයා වටා චක්‍රීයව ගමන් කරයි. මෙයට නිදසුනක් ලෙස පෘථිවිය වටා පිහිටවා ඇති භූ ස්ථාවර චන්ද්‍රිකා දැක්විය හැකි ය. නමුත් උප කක්ෂීය රොකට් පද්ධති එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ළඟාවන ආකාරයට කක්ෂගත කෙරේ. ඒවා ග්‍රහයෙකු වටා සම්පූර්ණ වටයක් ගමන් නොකරයි.
මෙම චන්ද්‍ර ගවේෂණ ක්‍රියාන්විතයට බ්ලූ ඔරිජින් සමාගම භාවිතා කරනුයේ උප කක්ෂීය රොකට් පද්ධතියකි. එය ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස්වලින් 2025 වර්ෂයේ පෙබරවාරි 04 දින මධ්‍යම සම්මත වේලාවෙන් (CST) පෙ.ව. 10.00 ට ( ලාංකේය වේලාවට අනුව ප.ව.09.30 ) අභ්‍යාවකාශගත කර ඇත. මානව ශිෂ්ටාචාරයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට මුල පුරන මෙම රොකට් යානයේ නම “නිව් ෂෙපර්ඩ්” වන අතර මෙය නැවත භාවිතා කළහැකි උපකක්ෂීය රොකට් පද්ධතියක් වීමද විශේෂත්වයකි. (New Shepard reusable suborbital rocket system)
බ්ලූ ඔරිජින් සමාගමේ මෙම ක්‍රියාන්විතයට අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ කිරුළු පැළඳි නාසා ආයතනයෙන් ලද සහයෝගය ද සුළුපටු නොවී ය. එනම් නාසා විසින් තාක්ෂණික දැනුම, උපකරණ ලබාදීම මෙන්ම තවත් අත්හදාබැලීම් ගණනාවකින් සීරුවට පෙරාගත් දැනුම් සම්භාරයක් නොමසුරුව බෙදාගැනීම ද මුළු මහත් ලෝකයාට ම ලබා දෙනුයේ විශිෂ්ට ආදර්ශයකි.
මෙම චන්ද්‍රගවේෂණ ක්‍රියාන්විතයේදී, සැබැවින්ම සිදු කර ඇත්තේ චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ ස්වභාවය කෘත්‍රීමව රොකටයේ කැප්සියුලය තුළ නිර්මාණය කිරීමකි. සත්‍ය වශයෙන්ම චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ ස්වභාවය අනුකරණය කිරීමකි. මෙහිදී, කැප්සියුලය 11rpm ( මිනිත්තුවට වට 11ක් ) ක කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වීම මඟින් කැප්සියුලය තුළ ගුරුත්වජ ත්වරණය සඳේ ගුරුත්වාකර්ෂණයට ( පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් 1/6 කට ) පත් වන අතර කැප්සියුලය තුළ සිටින්නෙකුට චන්ද්‍ර ගුරුත්වාකර්ෂණයෙහි සිටින බව සංජානනය කිරීමට මෙම ක්‍රියාවලියට හැකිය.
මෙම ක්‍රියාන්විතයේ ප්‍රයෝජන ගණනාවකි.
විශේෂයෙන්ම සඳ තරණයට අවැසි පර්යේෂණ කිරීමට යොදාගැනෙන තාක්ෂණික උපකරණ චන්ද්‍රයා වෙත ගෙනයාමට පෙර පරීක්ෂා කිරීම හා ඒවායේ ආරක්ෂා විධිවිධාන සකස් කළයුතු ආකාරය පිළිබඳව සැලකිලිමත් වීමට මෙමඟින් හැකියාව ලැබේ. එමෙන් ම සඳ මතුපිට ජලයෙහි පැවැත්ම අධ්‍යයනය කිරීම, චන්ද්‍ර ගුරුත්වාකර්ෂණයේ වෙනස්වීම් අධ්‍යයනය කිරීම, සඳ තරණයට වැදගත් වන ප්‍රවාහ භෞතික විද්‍යාව (විවිධ තරලවල ගුණ හා හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව) වැනි ක්ෂේත්‍ර ගණනාවක වැදගත් තොරතුරු ලබාගැනීමට අවැසි උපකරණ පරීක්ෂා කිරීමටද හැකියාව ලැබී ඇත. මෙමඟින් සඳ තරණ පර්යේෂණ වඩාත් කාර්යක්ෂම වන අතර චන්ද්‍ර ජනාවාස ගොඩනැඟීමේ ක්‍රියාවලියට ද මින් සැලසෙන පිටුබලය අතිමහත් ය.
උපකරණ පමණක් ද නොව පුද්ගලයන් 06 දෙනෙකුට ගමන් කළ හැකි මෙම කැප්සියුල් අවකාශය විශාල වීදුරුවලින් ආවරණය කළ ජනේලවලින් ද සමන්විත වන අතර එමඟින් අභ්‍යාවකාශයේ මනස්කාන්ත දර්ශන චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය යටතේ විඳගැනීමට ද ගඟනගාමීන්ට හැකි වනු ඇත. එමෙන් ම මෙම අවකාශය ගඟනගාමීන්ගේ පුහුණු කටයුතු සඳහාද මහෝපකාරී වේ.
සස්මිත හිරුන්