‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා දැනට ජනප්‍රිය ලෙස අප හඳුනගනිමින් සිටින, එමෙන්ම රජය විසින් ප්‍රමුඛත්වය දී සිටින ක්‍රියාකාරකම්වල කොටසක් වී ඇත්තේ අප අවට පරිසරය අපිරිසිදු තැන් කණ්ඩායම් වශයෙන් සුද්ද පවිත්‍ර කරගන්නා එකට යි. ඒක එහෙමම නෙමෙයි. මොකද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියනකොට ඇතිවෙන්න ඕන දෙයක් තමයි අපි කොතරම් දුරට මේ තියෙන ව්‍යවස්ථාව, නීති, ආචාර ධර්ම,තුළ දැනුවත්ව හැසිරෙමින් ඉන්නවද කියන එක.සමාජයක් ලෙස අපිට කටයුතු කරන්න සිදුවෙලා තියෙන සිස්ටම් එකත් එක්ක අපි ඓන්ද්‍රීය වෙලාද වැඩ කරන්නෙ කියන එක.
පොදු නීති රීති පද්ධතියක් තුළ සාමූහිකව අපි වැඩ කරනවද කියන එක හැම වෙලාවකම අපිට අපෙන් අහන්න සිද්ධ වෙන දෙයක්. මොකද එහෙම නැතිවුණොත් එකිනෙකා එකිනෙකාට ඕන විදියට පොදු අවකාශයේ හැසිරෙන්න ගියාම අර පොදු සිස්ටම් එක අවුලකට යනවා. උදාහරණයක් හැටියට අපි දැන් සුදු ඉර තියෙන තැනින් පාර පනින්නේ නැතිව තැනින් තැනින් පාර පනින්න යනවනම් පාරෙ ගමන් කරන්නන් වගේම විධිමත් වාහන ගමනා ගමනයත් අර්බූදයකට යනවා. මේ ගැන අපි හිතන්නෙ නෑ. මේක අර පරිසරය ක්ලීන් කිරීම වගේම පාරේ විනය පවත්වාගෙන යාමට අදාළ කොටසක් ලෙස තේරුම් ගන්නවනම් ඒ අර්ථයෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සාර්ථක වෙනවා.
පාරක ගමන් කරන කොට අපිට ‘මෙහි කුණු දාන්න එපා’ හෝ ‘තහනම්’ කියන බෝර්ඩ් අපට දැකගන්නට පුළුවන්. බෝර්ඩ් ගහන්න වෙනව කියන්නෙම පාරට ජනතාව තමන්ගෙ ගෙදර කුණු ගෙනත් දාන නිසා බව අපිට වැටහෙන කරුණක්. ඉතිං හැමෝම මේ බව හිතන්න පටන් ගත්තොත් ඉබේම පාරවල් ක්ලීන් වෙනවා.එමෙන්ම. පාර පනින වෙලාවට අදාළ සුදු ඉර අපි පාවිච්චි කරන්නේ මගීන් ලෙස යි. අපේ අයිතිය තමයි සුදු ඉර. ඒක හින්දා අපි එතැනින්න් ගමන් කරන්නේ ඉතා හෙමින්. ඒ තැනදි,අපේ සාමාන්‍යය ගමන් වේගයටත් වඩා අඩු වේගයක් පවත්වාගෙන යාම තමා සිදුවෙන්නේ. අනෙක් අතට සාමාන්‍ය වේගයකින් අප දෙසට පැමිණෙන වාහන මගීන් දුටු හැටියේම තමාගේ වාහනයේ වේගය වැඩි කරන බවක් අපිට පෙනී යනවා. මෙතනදි පදිකයත් වාහන ධාවනය කරන්නාත් එක විට වැරදි කරනවා.
පොදු අවකාශය අපට නිතරම අභිමුඛ වෙන තැනක් තමයි පොදු ප්‍රවාහන සේවය. සාමාන්‍යයෙන් කොළඹ ලෙස අප හඳුනාගන්නා ප්‍රදේශ සඳහා උදේ සවස රැකියා සඳහා ඇදී එන පිරිස ලක්ෂ ගණනක්. එසේම විශේෂයෙන් ලංකාවෙ පුද්ගලික බස් ප්‍රවාහනය තුළ ඇතිවෙලා තියෙන අවිධිමත්භාවයත් එක්ක මේක ගැටගැසිලා තියෙනවා. මෙම තත්ත්වය තුළ මගී ජනයා මෙන්ම බස් රථයේ රියදුරු, කොන්දොස්තර ආදී සියලුම දෙනා තම යුතුකම හා වගකීම පැහැර හැර තිබෙනවා. රජයක් ලෙස කොතරම් මෙම තත්ත්වය විධිමත් කිරීමට උත්සාහ කළත්, කළ යුතු කාර්යයන් අනිවාර්යයෙන් කළත්, මෙම ගැටලු සමනය කිරීම පහසු නැත. ‘ක්ලීන් ශ්‍රීලංකා’ සංකල්පය වැදගත් ලෙස බද්ද වී පවත්නා ඉතා විශාල සමාජ පරාසයක් මේ පොදු සේවාව තුළ ක්‍රියාත්මකවීම ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතුව ඇත.
බස් නැවතුම තුළ බස් රථය නැවැත්වීම වෙනුවට පරේ මඟීන් විසින්ම රථය සෑම තැන්හිදීම නවතා බසයට ගොඩවීමට උත්සහ දරයි. රියදුරු විසින්ද එයට අනුබලය සපයා ක්‍රියාකරයි. බසය තුල ටිකට් පතක් නිකුත් කිරීම සෑම මගියකු සඳහාම කළ යුතුව ඇත. එහෙත් මගියාද එය නොවිමසා සිටී. මගියාට ලබන ආසනය ද්විත්ව ආසනයක් ලෙස සකසා තිබුණද බොහෝ මගීන් අනෙකාගේ ඉඩ අවස්ථාව නොසලකා මුළු ආසනයම ඉවත බලාගෙන එහි තුන් කොටසක් අත්පත් කරගනී. ස්ත්‍රියක් අනෙක් පස සිටී නම් විඳින්නට සිදුවෙන කරදර ගැන නිමක් නැත.රියදුරු මෙන්ම මගියා පාරට බුලත් කෙළ ගසන්නේ රියදුරුගේ හැසිරීම් විවේචනය කරන ගමන්මය. එකම ධාවන අංක මාවතේ එන බස්රථ අතර තරගය නිසා මගියා විශාල ලෙස බියවීමට ලක්වූවද මගීන් අතර ඒ සම්බන්ධයෙන් රියදුරාට විරෝධය දැක්වීම පොදු අපහසුතාවයත් සලකා කිසිවකු ඒ වෙනුවෙන් ඉදිරිපත් නොවේ. විරෝධය දක්වන්නකු සිටිනම් ඔහුට පහර දීමට රියදුරුත්, සහායකයාත් එන විටපවා සෙසු මගීන් නිහඬව සිටීමට තීන්දු කර ඇත.
නිහඬ මගියා හැම විටම බස් රථයෙන් තමන්ද නීති විරෝධී කටයුත්තක් කරවා ගැනීමට කටයුතු කරයි. තමන්ට බැස යෑමට අවශ්‍ය තැන නැවතුමක් නැති වුවද ඔහු රියදුරු ලවා එය කරවා ගනී.මෙලෙස මගීන් හා බසයේ සේවාව ලබාදෙන්නන් ගේද එකතුවක් සහිතව සිදුකරමින් යන අවිධිමත් ක්‍රියාවලිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය තුළ සාකච්ඡා කළ යුතුව ඇත. තවද පෑසැල් ළමුන් ට බස් රථය නැවැත්වීම සිදුකිරීම නොකරන්නේ ඔවුන් බොහෝ දෙනකු ටිකට් මිලෙන් බාගයක් ගෙවන නිසා ය. වැඩිහිටි ආබාධිත අය සඳහාද මෙමෙ තත්ත්වය බොහෝවිට අදාළ ය.
වීදි පිරිසිදු කිරීම වගේම එම වීදිවල ගමන් කරන මිනිසුන්ගේ මිනිස් සම්බන්ධතාවල ගුණාත්මක භාවය ඉහළ නැවීමත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයේම කොටසක් ලෙස සැලකිය යුතුව ඇත. වීදි සුනඛයන් ට අමතරව සුරතලේට ගෙවල්වල ඇතිකරන සුනඛයන්ව පාරට ගෙනවිත් කැත කරවන්නෙ බොහෝ විට රටේ විනය ගැන ආණ්ඩුවලට උපදෙස් දෙන සහ වගකිවයුතු සේවා රටට සපයන අයගෙන් පිරිසක් විය හැකි ය. සෑම කරුණක්ම ආර්ථික හේතුවක් මත වී ඇත ලෙස යැයි පවසා ඇඟ බේරා ගැනීම නොකර සමාජයක් ලෙස පොදු අවකාශය අව භාවිතයට ගැනීම් පුද්ගලිකව කරයි නම් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයේ වගවීම රජයක් ලෙස විතරක් පවරාදී ඇඟ බේරා ගැනීමෙන් එම කාර්යය සම්පූර්ණ කළ නොහැකි බව වටහා ගත යුතුව ඇත.
රජයේ ලක්ෂ ගණනක රාජ්‍ය සේවකයන් ජනතාවට සේවා සපයන ආයතනවල තත්ත්වය කනගාටුදායක ය. රට පිරිසිදු කිරීමේ වගකීම නීති රීති චක්‍රලේඛ වලට එහා ගිය දෙයක් බවට පත්වන්නේ මේ නිසා ය. වරෙක පීඩාවට පත්වන්නා තවත් වරෙක පීඩකයෙක් ලෙස ක්‍රියාකරයි නම් කිසිදු කෙනකුට පීඩාවන්ගෙන් මිඳිය නොහැකි බව සිහි තබා ගත යුතුය. පොලිසියේ හෝ වෙනත් කෙනෙකු අල්ලස් ගන්නේ තම දරුවා පාසලකට දා ගැනීමේදී විදුහලට අල්ලස් දීමට නම්විදුහල්පතිලාටද තව දුරටත් පොලීසියට අල්ලස් දීමේ දාමයට එකතු වීමට සිදුවේ. මෙලෙස කල්පනා කරන්නේ නම් මෙම දාමය කොතැනකින් හෝ කැඩීමට සියල්ලන්ම දායක විය යුතු ය.
කළ්‍යා පෙරේරා