ආසියානු වයස අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19ක් සුදුසුකම් ලබා ඇත. මෙයට දින තුනකට පෙර දියගම ක්‍රීඩාංගණයේදී නිමාව දුටු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියට අවශ්‍ය පරිසාධන මට්ටම පසු කළේය.
ලබන අප්‍රේල් 15 සිට 18 දක්වා සවුදි අරාබියේ දමාම්හිදී ආසියානු අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන අතර, ඒ සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000ක් පමණ සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට මෙවර වැඩිම පිරිසක් සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.
අවසන් වරට 2025දී උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නගරයේ පැවති 5 වැනි ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7ක් සහභාගි වූ අතර, රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 4.70 ක් වාර්තා කරමින් මීගමුව මාරිස්ටෙලා විදුහලේ තුෂේන් සිල්වා හා උස පැනීමෙන් මීටර් 2.01ක දක්ෂතාවකින් දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ නිලුපුල් පැහැසර රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. එමෙන්ම කාන්තා මීටර් 800 ඉසව්වෙන් නිර්මලී වික්‍රමසිංහ (මිනිත්තු 2:17.04) හා පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීමෙන් අකලංක ලියනගේ (තත්පර 51.40) ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසන්නේ ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් මෙවර දිනාගත හැකි තත්ත්වයක පසුවන බවයි. “සුදුසුකම් ලැබූ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාම හොඳ මට්ටමේ සිටිනවා. තරග ඉසව් 10කින් පමණ අපට පදක්කම් දිනාගත හැකි තත්ත්වයක් තිබෙනවා. ආසියාවේ සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉතාම තරගකාරී මට්ටමක තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරැළිකාර ජයග්‍රහණයක් සටහන් කරයි” ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කළේය.
වසර 2015දී දෝහා කටාර්හි ආරම්භ කළ අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 18ක් දිනා 19 වැනි ස්ථානයට පත්ව ඇත. රටවල් 30ක් අතුරින් චීනය රන් පදක්කම් 59ක්, රිදී පදක්කම් 38ක් හා ලෝකඩ පදක්කම් 20ක් ලබා පෙරමුණේ පසුවන අතර, ඉන්දියාව රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 42ක් හා ලෝකඩ පදක්කම් 33ක් දිනා දෙවැනි ස්ථානයේ සිටියි.