කටුගස්තොට පොලිස් බලප්රදේශයේ මහවැලි ගඟේ තිබී දින 19ක් තුළ පුද්ගල මළ සිරුරු තුනක් හමුවූ බව කටුගස්තොට පොලීසිය පැවසීය.
ඒ අනුව, පෙබරවාරි මස 17 , 22 යන දෙදින තුළත් මාර්තු මස 7 වැනි දිනත් මෙම මළ සිරුරු හමුව තිබේ. මෙසේ හමුවූ මළ සිරුරු අතර පිරිමි පුද්ගලයන් දෙදෙනකුගේ හා එක් කාන්තාවකගේ මළ සිරුරු තිබුණු බවත්, එම මළ සිරුරු 3 හමුවී ඇත්තේ මාවිල්මඩ, කුඹුරේගෙදර හා කටුගස්තොට නගරයේ අලුත් පාලම යට තිබියදී බවත් පොලීසිය වැඩිදුරටත් කීය. මේ අතරින් පසුගිය මස 17 දින හමුවූ මළ සිරුර මහනුවර පූර්ණවත්ත ප්රදේශයේ පදිංචිකරුවකුගේ බවටත්, 22 දින කුඹුරේගෙදර ප්රදේශයේදී හමුවූ කාන්තා මළ සිරුර මහනුවර නගරයේ කුලී නිවෙසක පදිංචිව සිටි කාන්තාවකගේ බවටත් ඔවුන්ගේ ඥාතීන් හඳුනාගෙන ඇත. අලුත් පාලම යට තිබී පසුගිය 07 වැනිදා හමුවූ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර මේ වනතෙක් හඳුනාගෙන නොමැත. පොලීසිය එම සිරුර හඳුනා ගැනීමට මහජන සහාය පතයි.