වසර සියයක් ඉපැරණි විහාරස්ථානයක භූමියකට යාබද ඉඩමක නිධානයකින් ගොඩගත් මැණික් ගල් විසි හතක් අඩංගු බව කියන බුබ්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලීසිය පවසයි.
සැකකාර පුද්ගලයන් දෙදෙනා සමඟ බුබ්බුලාකාර උපකරණය භාරයට ගත් බවත් ඒ වටා සුදු පැහැයට හුරු රෙද්දක් සහ සුදු පැහැති නූල් ද ඔතා තිබූ බව ද පොලීසිය පවසයි.
එම බුබ්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයේ නයිපෙණ තුනක් සටහන්ව තිබෙන බවට දක්නට ලැබෙන බවත් ඝණ පාෂාණයකින් යුක්ත එම උපකරණය සෙලවීමේදී අභ්‍යන්තරයේ යම් දෙයක් අඩංගුව තිබෙන බවට ඇසෙන බවත් පොලීසිය සඳහන් කරයි.
පානදුර, අළුබෝමුල්ල කාමර කුලියට දෙන ස්ථානයක පුද්ගලයන් දෙදෙනෙක් නිධානයකින් ගොඩගත් බව කියන මැණික් ගල් 27 කෝටි 300කට විකිණීම සඳහා රැඳී සිටින බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයේ කොස්තාපල් (29383) ඒකනායක මහතාට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා සමඟ බුබ්බුලාකාර හැඩයෙන් යුත් මැණික් ගල් අඩංගු බව කියන එම උපකරණය භාරයට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවත් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර, මොරවින්න ප්‍රදේශයේ පෞරාණික විහාරස්ථානයකට යාබද ඉඩමක කැණීම් කර නිධානයකින් මෙය ලබාගත් බවත් අනාවරණය කළ බව පොලීසිය පවසයි.
ඒ සඳහා තිස්සමහරාම ප්‍රදේශයෙන් කපුවකු ගෙන්වා අවස්ථා කිහිපයකදී විවිධ බිලි පූජාවන් ද පවත්වමින් නිවෙස් හිමියා රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් වියදම් කර ඇති බව අනාවරණය කළ බව ද පොලීසිය කියයි.
නිවෙස් හිමියාගේ මියගිය තරුණ දියණිය සිහිනෙන් අවස්ථා කිහිපයකදී වත්තේ නිධානයක් තිබෙන බවට පැවසීමෙන් අනතුරුව ඔහු බෝඩිමේ සිටින තිස්සමහාරාමය ප්‍රදේශයේ පුද්ගලයාට ඒ බව සැලකිරීමෙන් අනතුරුව ඔහු විසින් ඔහුගේ ගම් ප්‍රදේශයේ කපුවා සහ අනෙක් පුද්ගලයා සම්බන්ධ කර දුන් බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර නිදන් හැරීම සම්බන්ධව පෙර වැරදි තිබෙන පුද්ගලයකු බවත්, දෙවන සැකකරු නිවෙස් හිමියාගේ බෝඩිමේ පදිංචි ඇඟලුම් සේවකයකු බවත් පොලීසිය කියයි.
මැණික් ගල් අඩංගු බව කියන බුබ්බුලාකාර හැඩයෙන් යුත් උපකරණය පුරාවස්තුවක්දැයි තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය. සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත
අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා, උප පොලිස් පරීක්ෂක චානක, පොලිස් සැරයන් එදිරිසිංහ (3081), පානදුර කොට්ඨාසයේ බුද්ධි පොලිස් කොස්තාපල් ඒකනායක (69383), පොලිස් කොස්තාපල් වරුන්වන නිශ්ශංක (72156), කුමාර (1047), වසන්ත (95633) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.