කොළඹ ප්රදේශයේ සිට ඇළහැරට පැමිණි මොටර් රථයක් ඇළහැර 12 කණුව ප්රදේශයේ දී පෙරේදා රාත්‍රී 11.00ට පමණ මාර්ගයෙන් ඉවතට පැන යෝධ ඇළට පෙරළීමෙන් රියැදුරු සහ මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් ඇති අතර, අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලීසිය පවසයි.
රිය අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථය ධාවනය කළ රියැදුරු වන එස්.එම්. ධනුෂ්ක විජේරත්න නමැති 27 හැවිරිදි පොල්වත්ත කටුගස්තොට පදිංචිව සිටි පුද්ගලයකි.
මෝටර් රථයේ ඉදිරි අසුනේ ගමන්ගත් මිපිටිය, නාවලපිටිය පදිංචිව සිටි ඩබ්ලිව්.ආර්. ලක්ෂ්මි සිරිවර්ධන නමැති 72 හැවිරිදි කාන්තාව ද රිය අනතුරින් මියගොස් තිබේ.
ලක්ෂ්මි සිරිවර්ධන මහත්මියගේ දියණිය වන කේ.ආර්. වින්දියා තිලකරත්න යන අයද තුවාල ලබා බකමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
නාවලපිටිය පදිංචි වින්දියා තිලකරත්න යන ඇය මියගොස් ඇති මව සමඟ ඇළහැර ප්රදේශයට පැමිණෙන අතරතුරදී මෙම රිය අනතුර සිදුවී තිබේ.
අනතුරින් මියගොස් ඇති අයගේ මළ සිරුරු මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා බකමූණ රොහලේ තබා ඇති අතර, ඊයේ උදේ මරණ පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
බකමූණ පොලීසිය රිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි.