පිරිමින්ට පමණක් කළ හැකි බවට සමාජ මතයක් පවතින ආකල්පයට අභියෝග කරමින් පිළිකුලක්, බයක් ගණන් නොගෙන මෘත ශරීර බෙහෙත් ගැල්වීමේ කටයුතු කරන දිරිමත් කාන්තාවකගේ කතාවකි මේ.
කාන්තා දිනය වෙනුවෙන් අගැයීමට ලක්විය යුතු දිරිය මාතාවක් දෙයියන්දර නගරයෙන් හමු විය. ඇය නමින් රණවක සේපාලිකා නිල්මිණිය. දෙයියන්දර මල් ශාලාවේ හිමිකාරිය මෙන්ම, මෘත ශරීර බෙහෙත් ගැල්වීමේ කටයුත්තේ සිට සියලුම අවමංගල සේවා සපයන හා සලසන කාන්තාවකි.
අභියෝග ජය ගෙන ඉදිරියට පැමිණ ඇති ඇයගේ ජීවිත ගමන ගැන අතිශයින්ම කාන්තාවන්ට වැදගත් වන ඇයගේ දිරිය කථාව ඇය මෙසේ පවසා සිටියාය.
“මම දෙයියන්දර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවියක්. උසස් පෙළ විභාගයෙන් විෂයන් 4ක් සමත් වෙලා මම දේශපාලනයට පිවිසුණා. මගේ දේශපාලනය වුණේ වර්තමාන බලයට පත් රජයේ දේශපාලන පක්ෂයයි. මම ඒ පක්ෂයේ ක්‍රියාකාරී දිස්ත්‍රික් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළා.
මම විවාහ වුණේ 2001 වසරේ. මගේ ස්වාමිපුරුෂයා කැන්දපල පතිරත්න ජානක. විවාහයෙන් පස්සෙ මට දරුවන් තුන්දෙනෙකු ලැබුණා. තාත්තා වඩු කාර්මිකයෙකු ලෙස මිනී පෙට්ටි සෑදීම කළා. ඒ අතරෙ මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන ගියා. විවාහයෙන් පස්සෙ මල් ශාලාව කරගෙන යන්න මගෙ මහත්තයට භාර දුන්න. මහත්තය මල් ශාලාව කරගෙන යාමට අවශ්‍ය වියදම් සඳහා ණයක් අරගෙන තිබුණා. රුපියල් ලක්ෂ 38ක් පමණ. මහත්තයා 2017 මාර්තු 16 වන දින හදිසි හෘදයාබාධයකින් මිය ගියා. එළඹෙන 16 වැනිදාට මහත්තයා නැතිවෙලා අවුරුදු අටක් වෙනවා.
මහත්තයා නැති වෙන කොට අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටි ලොකු දුවත්, 6 වසරේ ශිෂ්‍යත්වය සමත් පුතාත්, පළමු වසරට භාර දී සිටි බාල දියණියත්, මමත් මෙලොව තනි වුණා. මට මහත්තයා නැති වුණ ශෝකයත් සමඟ දරු තිදෙනා නඩත්තු කිරීමත්, ණය වෙලා සිටි රුපියල් ලක්ෂ 38 ගෙවා දැමීමත් මහත් අභියෝගයක් වුණා. මගේ ඇස් දෙකෙන් කඳුළක් ගියේ මේ ප්‍රශ්න විසඳගෙන ජීවිතය ගෙන යන්නෙ කොහොමද කියන කාරණය සිහිවෙන විටයි. දරා ගන්න බැරි දුකක් වේදනාවක් කනගාටුවක් ඇති වුණා.”
ඇය මඳක් නිහඬව සිට නැවත සිය ජීවිත ගමන අයෙත් ආරම්භ කිරීම ගැන කීවේ මෙවැනි කතාවකි.
“මහත්තයගෙ හත් දවසෙ දානෙන් පස්සෙ මගෙ අයිය, ප්‍රසන්න රණවක මට ශක්තියක් වුණා. අයියා ඒ කාලේ රුවන්වැල්ලෙ මල් ශාලාවක් පවත්වාගෙන ගියා. එයාගෙ ගෝලයො සමඟ අයියා ටික කලක් මට උදවු කළා පෙට්ටි සාප්පුවෙ වැඩ කරගෙන යන්න. මම ඒ අතරෙ මල් ශාලාවෙ වැඩ කරන්න හිතට හයියක් අර ගත්තා. මම මෘත ශරීර එම්බාම් කරන වැඩේ කළා. මළ මිනියක සියලුම කටයුතු කිරීමට මට දැන් පුළුවන්. 2017න් පස්සෙ මෘත ශරීර 1500ක් පමණ මම බෙහෙත් ගල්වා සකස් කර මළ ගෙවල්වලට සහන මිලකට සේවාව සපයා තියෙනවා. සංඝයා වහන්සේලාගේ ආදාහන කටයුතුද 15ක් පමණ කර තිබෙනවා.
කාන්තාවක් ලෙස මම මේ ව්‍යාපාරය ඉතා සතුටින් කරගෙන යනවා. මම මළ ගෙදරක තත්ත්වයට සංවේදීවයි කටයුතු කරන්නේ. මරණයක් බෙහෙත් ගැල්වීමේදී ඉතා ගෞරවනීය විදිහට මියගිය අයට සැලකිල්ලක් දක්වමින් ඒ කටයුත්ත කරන්න ඕන. මල් ශාලාවක සේවාවන් පවත්වාගෙන යන්න මානුෂීය හැඟීමක් තියෙන්න ඕන. මම අසරණ දුප්පත්, වයසක අයගේ මළ ගෙදරකින් මුදල් අය නොකර සේවය සලසනවා. සමහර වයසක අය මියගියාම සිටින තත්ත්වය දැක්කම, දූ දරුවන් මොන විදිහට සලකලා තියනවද කියල සිතා ගන්න පුළුවන් අවස්ථා මට එමට හමු වී තිබෙනවා.”
කාන්තාවක් හැටියට තමන්ට තියෙන ජීවිත අභියෝග ප්‍රමාණය ගැන මනා අවබෝධයකින්, තමන් සතු ශක්තීන් තේරුම් ගෙන නොසැලී කටයුතු කිරීම කාන්තාවන් වන අයට දිය හැකි අවවාදය බව ඇය සඳහන් කළාය. “අද මම හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩ නඟාගෙන ළමයින් තුන්දෙනාට අනාගතය සැකසීමේ කටයුතුවල නිරත වනවා” යැයි ඇය පැවසීය.