දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් මෙරට පමණක් නොව විදේශීය රටවල අයට පවා දන්සැල් මඟින් ආහාරපාන ලබාදීම සඳහා ලියාපදිංචිය ලබාදීමට මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ වෙනුවෙන් ලියාපදිංචි වීමට නගර සභාව මඟින් QR කේතයක් හඳුන්වාදී තිබෙන අතර දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේදී දන්සැල් මඟින් බැතිමතුන්ට ආහාරපාන ලබාදීමේ හැකියාව ඇත්තේ එම කේතය භාවිත කර මාර්ගත ගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිය ලබා ගන්නා පුද්ගලයින්ට, සංවිධාන හා ආයතනවලට පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කීය.
අදාළ ලියාපදිංචිය ලබා ගැනීමෙන් පසු ආහාර සකස් කරන ස්ථානය පරීක්ෂා කර බලා නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් අනුගමනය කළ යුතු නිර්ණායක අඩංගු ලියවිල්ලක් සමඟ සහතිකයක් නිකුත් කරන බවත් එම සහතිකය නොමැතිව බැතිමතුන්ට ආහාර බෙදාහැරීමට අවස්ථාව නොදෙන බවත් ඒ මහතා පැවසුවේය.
දළදා දැක්ම පැවැත්වෙන සමයේ බැතිමතුන්ට ආහාරපාන ලබාදීම සඳහා මේ වන විට සංවිධාන 27ක් ලියාපදිංචිය ලබාගෙන තිබෙන බවත් මහනුවර නගර සභාවේ නිල වෙබ් අඩවිය මඟින් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට පැමිණෙන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මෙයට අමතරව අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් ද නගර සභාව මඟින් ආහාර අළෙවි ස්ථාන අඛණ්ඩව පරීක්ෂා කරන බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේය.