Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක්

ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක්

ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කය කියයි

by Gayan Abeykoon
March 12, 2025 4:07 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

යුද ගැටුම් සම්පූ­ර්ණ­යෙන්ම නිමා­වට පත්කොට සංව­ර්ධන මාවතේ ගමන් කරන ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස නම්කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්ත­වා­දයේ බල­පෑම පිළි­බඳ සිදු කරනු ලැබූ විශ්ලේ­ෂ­ණ­ව­ලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කය (Global Terrorism Index (GTI) 2025) මඟින් මෙම නම් කි­රීම සිදු­කර ඇත.

මෙම දර්ශ­කය මඟින් ලෝකයේ රට­වල් 163 ක් සලකා බලා තිබෙන අතර ශ්‍රී ලංකාව එහි 100 වැනි ස්ථාන­යට පැමිණ තිබේ. වස­රක් ඇතු­ළත ශ්‍රී ලංකාව දර්ශ­කයේ ස්ථාන 64 කින් පහත වැටී ඇති බවත්,  එම­ඟින් රට තුළ ත්‍රස්ත තර්ජන අව­දා­නම අඩු වී ඇති බවත් එම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍ය­න්තර ආය­ත­නය විසින් ත්‍රස්ත­වා­දයේ බල­පෑම මත රට­වල් ශ්‍රේණි­ගත කිරීම මෙම ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කය මඟින් සිදු­කර තිබෙන අතර ලෝක ජන­ග­හ­න­යෙන් සිය­යට 99.7ක් ආව­ර­ණය වන පරිදි රට­වල් 163 ක් සඳහා ත්‍රස්ත­වා­දයේ බල­පෑම විශ්ලේ­ෂ­ණය කර­මින් ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කය ප්‍රකා­ශ­යට පත්කර ඇත.ඒ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්ත­වාදී අව­දා­න­මක් ඇති රට ලෙස බර්කි­නා­ෆාසෝ අදාළ ලැයි­ස්තුවේ පෙර­මුණේ පසු­වන අතර එම ලැයි­ස්තුවේ දෙවන ස්ථාන­යට පත්වී ඇත්තේ පාකි­ස්තා­න­යයි. ත්‍රස්ත­වාදී අව­දා­නම වැඩිම රට­වල් අතර තෙවන ස්ථාන­යට සිරි­යාව පත්වී තිබේ.

මෙම දර්ශ­ක­යට අනුව අඩුම ත්‍රස්ත­වාදී අව­දා­න­මක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකා­වට ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කයේ සිය­වන ස්ථානය හිමිවී ඇති අතර 2023 වර්ෂයේ මෙම දර්ශ­කයේ 36 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64 ක් පහ­තට ගමන් කර ඇති අතර දකුණු ආසි­යානු කලා­පයේ ත්‍රස්ත තර්ජන අඩු­වීම අතින් වඩාත් දියු­ණුම රට ලෙස ද ප්‍රකා­ශ­යට පත්කර තිබේ.

දකුණු ආසි­යානු කලා­පයේ පසු­ගිය වසර 5 තුළ කිසිදු ත්‍රස්ත ප්‍රහා­ර­යක් වාර්තා නොවූ රට­වල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතා­නය නම්කර ඇති අතර 2019 වර්ෂ­යෙන් පසු අඛ­ණ්ඩව ත්‍රස්ත තර්ජන අඩුවී ඇති බව අදාළ වාර්තාව මඟින් පෙන්වා  දී ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ භූතා­න­යට අම­ත­රව ත්‍රස්ත තර්ජන අවම රට­වල් අත­රට ආසි­යානු රට­වල් දෙකක් වන විය­ට්නා­මය සහ සිංග­ප්පූ­රුව ද නම්කර ඇත.

මේ අතර මාලි,  නයි­ජර්,  නයි­ජී­රි­යාව,  සෝමා­ලි­යාව,  ඊශ්‍රා­ය­ලය,  ඇෆ්ග­නි­ස්තා­නය,  කැම­රන්,  මිය­න්මාර්,  කොංගෝ ජන­ර­ජය,  ඉරා­කය,  ඉන්දි­යාව,  කොලො­ම්බි­යාව,  රුසි­යාව,  මොසැ­ම්බික් සහ ඉරා­නය ත්‍රස්ත තර්ජන වැඩිම රට­වල් ලෙස ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කය විසින් නම්කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT