යුද ගැටුම් සම්පූර්ණයෙන්ම නිමාවට පත්කොට සංවර්ධන මාවතේ ගමන් කරන ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස නම්කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්රස්තවාදයේ බලපෑම පිළිබඳ සිදු කරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය (Global Terrorism Index (GTI) 2025) මඟින් මෙම නම් කිරීම සිදුකර ඇත.
මෙම දර්ශකය මඟින් ලෝකයේ රටවල් 163 ක් සලකා බලා තිබෙන අතර ශ්‍රී ලංකාව එහි 100 වැනි ස්ථානයට පැමිණ තිබේ. වසරක් ඇතුළත ශ්‍රී ලංකාව දර්ශකයේ ස්ථාන 64 කින් පහත වැටී ඇති බවත්, එමඟින් රට තුළ ත්‍රස්ත තර්ජන අවදානම අඩු වී ඇති බවත් එම වාර්තාව මඟින් පෙන්වා දෙයි.
ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මඟින් සිදුකර තිබෙන අතර ලෝක ජනගහනයෙන් සියයට 99.7ක් ආවරණය වන පරිදි රටවල් 163 ක් සඳහා ත්රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර ඇත.ඒ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පාකිස්තානයයි. ත්‍රස්තවාදී අවදානම වැඩිම රටවල් අතර තෙවන ස්ථානයට සිරියාව පත්වී තිබේ.
මෙම දර්ශකයට අනුව අඩුම ත්‍රස්තවාදී අවදානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සියවන ස්ථානය හිමිවී ඇති අතර 2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64 ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.
දකුණු ආසියානු කලාපයේ පසුගිය වසර 5 තුළ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය නම්කර ඇති අතර 2019 වර්ෂයෙන් පසු අඛණ්ඩව ත්‍රස්ත තර්ජන අඩුවී ඇති බව අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ භූතානයට අමතරව ත්‍රස්ත තර්ජන අවම රටවල් අතරට ආසියානු රටවල් දෙකක් වන වියට්නාමය සහ සිංගප්පූරුව ද නම්කර ඇත.
මේ අතර මාලි, නයිජර්, නයිජීරියාව, සෝමාලියාව, ඊශ්‍රායලය, ඇෆ්ගනිස්තානය, කැමරන්, මියන්මාර්, කොංගෝ ජනරජය, ඉරාකය, ඉන්දියාව, කොලොම්බියාව, රුසියාව, මොසැම්බික් සහ ඉරානය ත්‍රස්ත තර්ජන වැඩිම රටවල් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය විසින් නම්කර තිබේ.