පැවැති රජයන් යටතේ මාර්ග හා පාලම් ඉදිකිරීමේ කටයුතු විධිමත් බවකින් තොරව සැලසුම් කර ඇති අතර ඇතැම් පාලම් ඉදිකර ඇති ස්ථානවල මාර්ගයක් පවා නොමැති බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. එවැනි ආකාරයට විධිමත් බවකින් තොරව සැලසුම් කළ පාලම් විසි ගණනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් ඇති බවත් ඒවායින් ඉදිකළ යුතු පාලම් කෙරෙහි අවධානය යොමුකරන බවත් ඇමැතිවරයා පැවැසීය.
වලවේ ගඟ හරහා ඉදිකරමින් තිබූ ලියන්ගස්තොට පාලම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී නැඟී සිටි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙම පාලම ඉදිකිරිම් කටයුතු තමන් නිවාස ඇමැතිවරයා සමයේ ආරම්භ කළ බවයි. කෙසේ වුවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව පාලම් හා මාර්ග ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම නතර කිරීම හේතුවෙන් මෙම පාලම අතරමඟ නතර වූ බව ද විපක්ෂනායකවරයා පැවැසීය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා
ලියංගස්තොට පාලමේ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව විසින් සිදු කරතිබෙනවා. පාලමේ භෞතික ප්‍රගතිය සියයට හැත්තෑපහක්.
මෙම පාලම රත්නපුර දිස්ත්‍රික්කයට හා හම්බන්තොට දිස්ත්‍රික්කයට මායිම්ව වලවේ ගඟ උඩින් දිවෙනවා. මීටර් 16කට අධික දිගකින් යුතු පාලමක්. පළල මීටර් 11ක්. 2017-12-25 දින ආරම්භ කර තිබෙනවා. පාලමේ ඉදිකිරීම් කටයුතු අවසාන කරන්නට නියමිතව තිබුනේ 2019 -06-03 දින. වැඩ අවසන් කිරීමට නියමිත දිනය 2022-06-22 දින ලෙස සංශෝධනය කර තිබෙනවා. ආරම්භක කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 270 ක්.2020 වසරේ දී සිදු කරන ලද ඉතිරි කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 194ක් පමණ. ඉතිරි වැඩ කටයුතු අවසන් කිරීම වෙනුවෙන් 2025 වසර සඳහා ඇස්තමේන්තුව මේ වනවිට සකස් කරමින් තිබෙනවා.2017 දී ව්‍යාපෘතිය ආරම්භ කරන විට පාර්ශ්වකරුවන් තීරණය කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් එම වකවානුවල විෂය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කර තිබෙනවා. පාලමේ භෞතික ප්‍රගතිය සියයට හැත්තෑපහක්. කොන්ත්‍රාත්කරු විසින් ඉදිකිරීම් 2023 වසරේ දී අතරමඟ නතර කර තිබෙනවා. පාලම විනාශවීමක් සිදුවී නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා
මේ පාලමේ ඉදිකිරීම්වලට මුදල් ලබාදී තිබෙනවා. විෂය භාර ඇමැතිවරයා හෝ ලේකම්වරයා ඒ මුදල් අවභාවිත කර ඇති බවට ජනතාව විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් විගණනයක් හෝ වාර්තාවක් කැඳවනවද.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-
එවකට නිවාස ඇමැති මම. නිවාස අමාත්‍යාංශයෙන් අපි ලබාගත්ත මුදල්වලින් මේක පටන් ගත්තේ. පෞද්ගලික අංශය එක්ක නෙවෙයි. පාලම ඉදිකිරීම තුළින් ජනතාවට පහසුවක් සැළසීමයි අරමුණ වුනේ. ව්‍යාපෘතිය අපි හොඳට කරගෙන ආවා. නමුත් 2019න් පසුව බලයට පත්වූ රජය ප්‍රතිපාදන වෙන්කිරීම නතර කළා. 2019න් පසුව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ රජය සම්පූර්ණයෙන්ම පාලම් ව්‍යාපෘතිය නතර කළා.