වන්දි මුදල ශ්‍රේෂ්ඨාධිකරණයේ තැන්පත් කළා- මෛත්‍රීගේ නීතිඥයෝ කියති
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තාට දුන් ජනාධිපති සමාව අහෝසි කළ නඩු තීන්දුව මඟින් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් කරන ලද නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිට ඉදිරිපත් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) වෙත නොතීසි නිකුත් කළේය.
නඩු තීන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සොයා බැලීමට එම මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නොතීසි නිකුත් කරන ලදි.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ ඉකුත් 2024 ජූනි මස 06 වැනිදා මෙම පෙත්සම සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව ලබා දුන් බවය.
අදාළ සමාවදීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් පෙත්සම්කාර පාර්ශ්වයට මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබූ නමුත් මෙතෙක් එවැනි වන්දි මුදලක් ලැබී නොමැති බව ඒ මහතා සඳහන් කළේය.
එම අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම විවෘත අධිකරණය හමුවේ කතා කෙරුණු අතර ඔහු හෝ ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් එම අවස්ථාවේදී නොතිබුණි.
ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මේ අතර මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව දීමෙන් අනතුරුව රටින් පලා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වන රතු වරෙන්තු ලබා ගැනීමට මහාධිකරණ නියෝගයක් ලබා ගැනීමට නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බව රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා එහිදී අධිකරණයට දන්වා සිටියේය.
ඒ සම්බන්ධයෙන් වන නියෝගය ඉදිරි සති දෙක තුළ දී ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
රටින් පලා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා සිංගප්පූරුවේ රැඳී සිටින බවට මීට පෙර තොරතුරු ලැබුණු බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ වනවිට ඔහු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව සඳහන් කළේය.
ඒ අනුව ඔහු මේ වනවිට සිටින්නේ කුමන රටක ද යන්න අනාවරණය කර ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ අවශ්‍ය කටයුතු කරමින් සිටින බවට රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් රහසිගත වාර්තාවක් ගොනු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වුවද මෙතෙක් එම වන්දි මුදල් පෙත්සම්කාර පාර්ශ්වයට ලැබී නැති බව ද ඒ මහතා සඳහන් කළේය.
එහිදී වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ අදාළ වන්දි මුදල් ගෙවීමට සිය සේවාදායකයා කටයුතු කර ඇති බවය.
එම වන්දි මුදල් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරි කාර්යාලයේ තැන්පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
–