“කුරුඳුවත්ත ඕ.අයි.සී සවස 6.00ට විතර මට කතා කළා.කතා කර කිව්වා මහත්තයා බිම වැටිලා ඉද්දි අපට හමුවුණා. අපි එයාව රෝහල්ගත කළා.ඒත් එයාට කතා කිරීමට බැරිව ඉන්නේ. අපට ඉක්මනින් රෝහලට එන්න කිව්වා. මං ඉක්මනින් දුවත් එක්ක මහත්තයා බලන්න ගියා. පුළුවන් ඉක්මනින් ගියත් මහත්තයා බලන්න වුණේ එයාගේ සිරුර මෝචරියේ තැන්පත් කර තියෙද්දී’යැයි රාජකාරි වේලාවේ දී මියගිය පොලිස් කොස්තාපල්ගේ බිරිය වන යමුනා මල්කාන්ති සාක්ෂි දෙමින් පැවසුවාය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගණේමුල්ල ප්රදේශයේ පදිංචි ඒ.එම්.රංජිත් අබේකෝන් පොලිස් කොස්තාපල්වරයායි.
මේ කොස්තාපල්වරයා කුරුඳුවත්ත පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදෙමින් සිටියදී පෙරේදා (10) සවස් කාලයේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බිම වැටී සිටිය දී පොලිස් නිලධාරීන් එක්ව රෝහල්ගත කර ඇත.
මරණයේ සාක්ෂි විභාගය, කොළඹ නාගරික මරණ පරීක්ෂණ උසාවියේ කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා ඉදිරියේ ඊයේ (11) පැවැත්විණි.
මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඇය මෙසේ ද පැවසුවාය.
“මියගියේ මගේ සැමියා. අපි දෙන්නටම ඉන්නේ දුවෙක් විතරයි. මහත්තයා කුරුඳුවත්ත පොලීසියට අනුයුක්තව සේවය කළා. මහත්තයා ඒ නිසා නැවතිලා ඉන්නේ පොලිස් නිල නිවාසවල. නිවාඩුවක් ලැබුණාම මහත්තයා අපව බලන්න එනවා.
මේ ඉරිදා මහත්තයා අපව බලන්න ගෙදර ආවා. එද්දිත් කිසිම ලෙඩක් තිබෙනවා කියලා අපට පෙනුණේ නැහැ. මහත්තයත් අපට එයාට ලෙඩක් තියෙනවා කියලා කිව්වේ නැහැ.ඊයේ දවල් රාජකාරියට අනිවාර්යයෙන්ම යන්න ඕනෑ කියලා මහත්තයා ගෙදරින් පිටත් වෙලා ගියා.
මං හවස් වරුවේ ගෙදර වැඩ කරමින් සිටිද්දී කුරුඳුවත්ත පොලීසියේ ඕ.අයි.සී මට කතා කළා. මහත්තයා රාජකාරි වෙලාවේ බිම වැටිලා ඉද්දි හමුවුණා කියලා. එයා ඉක්මනින් රෝහල්ගත කළත් කතා කරන්න බැරිව ඉන්නවා. ඔයාලා ඉක්මනින් රෝහලට එන්න කියා ඕ.අයි.සී අපට කිව්වා.
මම දුවත් එක්ක පුළුවන් තරම් ඉක්මනට රෝහලට එන්න පිටත් වුණා. මම රෝහලට එද්දී රෑ 10ට විතර ඇති. පුළුවන් ඉක්මනින් ආවත් මට මහත්තයා බලන්න සිද්ධ වුණේ රෝහල් මෝචරියේ දී.”
මරණයට හේතුව නිශ්චිතව හඳුනාගෙන නැති බැවින් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් කර මරණයට හේතුව දක්වන ලෙස මරණ පරීක්ෂකවරයා මෙහිදී නියෝග කළේය.