සොළොස්මස්ථානවලට අයත් නැඟෙනහිර පළාතේ පිහිටි ප්‍රධාන දාගැබක් වන දීඝවාපී චෛත්‍ය සංරක්ෂණය කිරීමේදී ප්‍රමිතියෙන් තොර ගඩොල් සපයන ලද සැපයුම්කරුවකුට ගෙවීම් අනුමත කිරීමේ චෝදනාව යටතේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන සෙනරත් දිසානායකට සහ එහි ප්‍රධාන ගණකාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (11දා) අධිචෝදනා භාර දුන්නේය.
ආණ්ඩුවට අයුතු ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් නැතහොත් පාඩුවක් සිදු විය හැකි බව දැන දැනම තමාට හිමි බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි චුදිතයන් තමන්ට එරෙහිව සියලුම චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව කියා සිටියේය. සිය සේවාදායකයන් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගත් අධිකරණය රුපියල් 15,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 20ක ශරීර ඇපමත විත්තිකරුවන් මුදාහැරීමට නියම කළේය. චුදිතයන්ට විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට සහ සෑම මසකම අවසාන ඉරුදින අල්ලස් කොමිසමට වාර්තා කිරීමට නියම කළේය.
අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේදී රශ්මි ට්‍රේඩර්ස් නමැති ආයතනයකින් ලබා ගන්නා ලද ගඩොල් 3,77,000ක් නිසි ප්‍රමිතියකින් සපයා ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් තොරව සැපයුම්කරුට රුපියල් 60,32,000ක් ගෙවීමට අනුමත කිරීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩු පැවරීම සිදුව තිබේ.
නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධිකාරි සහ නැඟෙනහිර පළාතේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ලෙස සේවය කළ ආර්.ඒ. මහින්ද ලක්ෂ්මන්, යූ.ජී. චන්ද්‍රසිරි අබේරත්න, ඩබ්.ඒ. සුමනදාස යන අය නම් කර තිබේ.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමඟ මනුජය ද සිල්වා, ඩිල්කි හේවාපන්න, තුසිත ගුණසේකර, යන නීතිඥවරු පෙනී සිටියහ.