සත්ත්ව සමීක්ෂණය යනු කුමක්ද? එම සමීක්ෂණය සිදු කරනු ලබන්නේ කුමන අරමුණෙන්ද? මෙම සමීක්ෂණය වෙත එල්ල වනු ලබන චෝදනා, මෙම සමීක්ෂණය කිරීමෙන් පසු සිදු කරනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? යන්න පිළිබඳව නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
වනජීවි සමීක්ෂණය කරන්නේ කොහොමද? එහි අරමුණ කුමක්ද? ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
ඇත්තෙන්ම සමහරු මෙම වන සත්ත්ව සමීක්ෂණය සංගණනයක් විදිහට සඳහන් කරනවා. ඒත් අප සිදු කරනු ලබන්නේ වන සත්ත්ව සමීක්ෂණයක් මිස සංගණනයක් නොවෙයි. අද වන විට මෙම සත්ත්ව සමීක්ෂණය පිළිබඳව ජනතාව තුළ ලොකු උනන්දුවක් ඇතිව තිබෙනවා. අපි මෙතෙක් කල් වන සතුන්ගෙන් සිදු වන හානි පිළිබඳව දිගින් දිගටම කතා කළත් එම හානි කරනු ලබන සතුන්ගේ චර්යාව කුමක්ද? ඔවුන් වැඩිපුරම හැසිරෙන්නේ කොහිද? යන්න ගැන විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර තිබුණේ නැහැ. වනඅලි වැනි සතුන් පිළිබඳව සමීක්ෂණ කර තිබුණත් ගොවිබිම්වලට ගෘහාශ්‍රිතව හානි කරනු ලබන සතුන් පිළිබඳව සමීක්ෂණයක් සිදුව නැහැ. වනඅලි පිළිබඳවත් පූර්ණ සමීක්ෂණයක් දීර්ඝ කාලයකින් සිදු කර නැහැ. රටක වන සතුන් පිළිබඳව සමීක්ෂණයක් කළ යුතුයි, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි. අප විසින් මේ කාර්ය කරනු ලබන්නේ ඒ නිසයි. මේ සමීක්ෂණය සඳහා රජයේ දෙපාර්තමේන්තු සහ අංශ රාශියක් දායකත්වය ලබා දෙනු ලබනවා.
වන සතුන්ගෙන් හානි වන බව පවසමින් සිටීමට වඩා කළ යුතුව තිබෙන්නේ එම සතුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කර ඒ පිළිබඳව විද්‍යාත්මක විසඳුමක් සොයා ගැනීම සඳහා කටයුතු කිරීමයි. අප මෙම වන සත්ත්ව සමීක්ෂණය කරනු ලබන්නේ ඒ අරමුණ සහිතවයි.
ඒ සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ග තමයි අප විසින් ගැනීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ නිසා තමයි ලබන සෙනසුරාදා උදේ අටේ සිට විනාඩි පහක් මෙම සමීක්ෂණය සඳහා වෙන්කර ගන්න කියලා අප සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ කාර්ය අපේ දේශපාලන පක්ෂයේ හෝ ආණ්ඩුවේ පමණක් කටයුත්තක් නොවෙයි. ජාතික කටයුත්තක් ඒ නිසා අප සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා හැකි උපරිම සහාය ලබා දෙන්න කියලා. මෙය අපේ රටේ පමණක් නොවෙයි ලොව පුරා සිදු කරනු ලබන සමීක්ෂණ ක්‍රමවේදයක්.
මෙම සමීක්ෂණයෙන් පසු අපට පමණක් නොවෙයි පාසල් දරුවකුට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට වුණත් මෙහි ප්‍රතිඵල පිළිබඳව යම් තක්සේරුවක් අරගෙන තමන්ගේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට පුළුවන්. එයින් අපට දළ අදහසක් ගැනීමට පුළුවන් වීම නිසා මෙරට වගාවන් සඳහා වැඩිම හානි ප්‍රමාණයක් කරනු ලබන සතුන් පිළිබඳව හඳුනා ගන්න පුළුවන්.
මෙතෙක් කල් මාධ්‍යවලින් දේශපාලන පක්ෂවලින් කියනවා සත්ත්ව හානි පිළිබඳව. ඒත් මෙතෙක් කල් සිදු වුණේ අඳුරේ අතපත ගෑම පමණයි. සමීක්ෂණය මඟින් එසේ අඳුරේ අතපත නොගා දත්ත අනුව වැඩ කළ හැකි තත්ත්වයක් හදා ගැනීමට පුළුවන්කම ලැබෙනවා.
ඒත් සමාජ මාධ්‍යවල සහ මහජනතාව අසන ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ උදේ අටටම මේ සමීක්ෂණය පටන් ගන්නේ ඇයි කියලා?
ඒක සාමාන්‍ය දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය විදිහට හැසිරෙන සතෙක් රාත්‍රියේ නිදාගෙන සිට උදේ අවදි වෙලා ආහාර සොයා යාම ආරම්භ කරන්නේ මේ වෙලාවට. සවස් කාලයේදී මේ සමීක්ෂණය කරන්න බැහැ, සවස් කාලයේදී මේ සතුන් ආහාර ගෙන විවේකයෙන් ඉන්නේ. ඒ සියලු දේවල් පිළිබඳ සලකා බලා තමයි මේ වේලාව අප ලබා දුන්නේ. උදේ අට කියන්නේ සතුන් උපරිමයෙන් සක්‍රිය වන වෙලාවක්. ඒ වෙලාවට තමයි අපේ සමීක්ෂණය ආරම්භ කරනු ලබන්නේ. සමහරු අහනවා ඇයි මේ වැඩේට විනාඩි පහක්, පැයක් විතර කාලයක් ගන්න තිබුණනෙ කියලා. ඒ අයම ආයෙත් කියනවා එකම සතා අනෙක් වත්තෙනුත් ගණනය වෙයි කියලා. ඒ ප්‍රශ්නය නඟන අයම ඒකට උත්තරයද කියනවා. ඇත්තෙන්ම සතෙකු එක ස්ථානයක සිටින්නේ විනාඩි කිහිපයක් තමයි. ඒ කාලය තුළ සතුන්ව හඳුනා ගැනීමයි කළ යුතුව තිබෙන්නේ.
මේ වන සත්ත්ව සමීක්ෂණය සඳහා කොතරම් ප්‍රමාණයක සහභාගිත්වයක් තිබෙනවාද?
මේ කාර්ය සඳහා රට පුරා ලක්ෂ හැත්තෑවක පිරිසක් සහභාගි වෙනවා. ඒ සඳහා වූ පත්‍රිකා ප්‍රමාණය අප මේ වන විට බෙදාහරිමිනුයි සිටින්නේ. ඒ සමීක්ෂණය සඳහා උතුරේ සිට දකුණ දක්වා, බස්නාහිර සිට නැඟෙනහිර දක්වා ලක්ෂ හැත්තෑවක් සහභාගි වෙනවා කියන්නේ මෙය එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසය තුළ පවත්වනු ලබන ලොකුම සමීක්ෂණය බවට පත්වෙනවා.
මෙම සමීක්ෂණ පත්‍රිකාව සඳහා සම්මත මිලට වඩා ලොකු මුදලක් වියදම් කරනු ලබන බවට චෝදනාවක් එල්ල වෙනවා. මේ චෝදනාව පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
ගොවි සංවිධානයක් බවට හඳුන්වා ගත් කල්ලියක් මේ පත්‍රිකාවක් සඳහා රුපියල් දහයක මුදලක් වියදම් කළ බවට අමු මුසාවාදයක් සමාජගත කිරීමට උත්සාහ කළා. ඔවුන් කියන ගණන අනුව එය රුපියල් බිලියන ගණනක්, ඒත් ඇත්ත ගණන පත්‍රිකාවක් සඳහා ශත තිහක් පමණයි. ඒ අනුව බැලුවාම ඇත්ත මුදල ශත තිහක් පමණයි. මහ බැංකු වංචාව කළ, අනිසි ලෙස වන්දි ලබාගත් ජනතා මුදල් නාස්ති කළ ආණ්ඩු බලයේ සිටියදී නෑසූ කන්ව සිටි මේ කල්ලි අද වන විට බොරු ප්‍රචාර සිදු කරමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු දිනා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.
එදා පොහොර නැතිව සීසෑමට තෙල් නැතිව ගොවි ජනතාව පීඩා විඳිනකොට ඒ ගැන නොබලපු අය අද ජනහිතකාමී පරිසර හිතකාමී වන සත්ත්ව සමීක්ෂණය පිළිබඳව අභූත චෝදනා එල්ල කර ජන මනස අවුල් කිරීමට උත්සාහ කරමින් ඉන්නවා. ඇත්තෙන්ම මේ සත්ත්ව සමීක්ෂණය කියන්නේ සතුන් මරා දැමීමක්, හානි කිරීමක් හෝ ජනතාව වෙත බලපෑමක් වෙන දෙයක් නොවෙයි. විද්‍යාත්මකව වැදගත් ජාතික කාර්යයක් ඉටු කිරීම සඳහායි මෙම සමීක්ෂණය සිදු කරනු ලබන්නේ. මේ වගේ ජාතික කාර්යයක් සිදු කරද්දී එය අවතක්සේරු කිරීම අභූත චෝදනා එල්ල කිරීම අවලංගු වූ දේශපාලන කණ්ඩායම්වල හැසිරීම විදිහටයි සඳහන් කළ හැක්කේ.
අපි දෙසැම්බර් 31 රෑ 12ට ලෝකයම එකට එකතු වෙනවා. සිංහල අවුරුදු නැකැතට රටම එකතු වෙනවා මාර්තු 15 වනදා උදේ 8.00 සිට 8.05 දක්වා මෙම සමීක්ෂණයට එකතු වීම තමයි ජාතික වගකීමක් විදිහට පෙන්වා දිය හැක්කේ.
දඬුලේනා, රිළවා වැනි සතුන් මේ සමීක්ෂණයට යොදා ගනිද්දී ගොවිතැනට හානි කරනු ලබන ඉත්තෑවා, වල් ඌරා වැනි සතුන් ඒ සමීක්ෂණයට යොදා නොගන්නේ ඇයිද කියලා සමීක්ෂණය විවේචනය කරන පිරිස් විමසනවා?
මේ පිරිස් වෙත ඒ වගේ පොඩි දෙයක් ගැනවත් නිසි අවබෝධයක් නැති වීම ගැන කනගාටුයි. ඉත්තෑවා, වල් ඌරා වගේ සතුන් ගම් වදින්නේ දහවලට නොවෙයි රාත්රියටයි. ඉතින් රාත්‍රියට එන සතුන්ව උදේට ගණන් කරන්න බැරි බව මේ අය නොදැන සිටීම ගැන පුදුමයි. මේ වගේ බොළඳ ප්‍රශ්න මතු කරමින් කටයුතු කිරීම තමයි අද පරාජිතයන්ගේ පුරුද්ද වෙලා තිබෙන්නේ.
මෙම වන සත්ත්ව සමීක්ෂණයෙන් ප්‍රතිඵල ලැබුණ පසු ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
අපට අද වන තුරු නිශ්චිත තොරතුරක් නෑ වන සතුන් වැඩියෙන් ඉන්නෙ කොහෙද, වන සත්ත්ව හානි අඩු කොහෙද යන්න. ඒ දේ සඳහා තමයි අප මේ සමීක්ෂණය සිදු කරනු ලබන්නේ. එයින් ලැබෙන ප්‍රතිඵල අනුව විද්‍යාත්මකව ගත හැකි පියවර ගනු ලබනවා.
එහි ප්‍රතිඵල අනුව අවශ්‍ය පෙළගැසීම් සිදු කිරීමට හැකියාව තිබෙනවා. අපේ අරමුණ බවට පත්ව තිබෙන්නේ ගොවියාට යහපතක් සිදු කරන අතර, වන සතුන්ටද හානියක් නොකරමින් නිශ්චිත විද්‍යාත්මක ක්‍රමයකට වැඩ කටයුතු කිරීමයි.
මෙම ක්‍රියාවලියෙන් පසු සිදුවන වගා හානි අඩු වෙනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද?
අපි මුලින්ම මේ වැඩේ හරියට කරමු, ඉන්පසු ප්‍රතිඵල බලමු. අප රටක් විදිහට මේ අභියෝගවලට මුහුණ දිය යුතුයි, ජයගත යුතුයි. ඒ සඳහා කැපවීම සහ අධිෂ්ඨානය අප තුළ තිබෙනවා.
ඔබ එවැනි යහපත් දේවල් ගැන කතා කළත් රටේ සමහරු මේ වැඩේ ගැන කතා කරන්නේ උපහාසයෙන්. ඔවුන් ඒ විදිහට හැසිරෙන්නේ ඇයි?
අද සුළුතරයක් ඉන්නවා ආණ්ඩුව කුමනාකාර හොඳක් කළත් එහි අගයක් නොදකින, එතැන තිබෙන්නේ යහපත් දේශපාලන දැක්මක් නොවෙයි, වෛරී දේශපාලනයක්. එවැනි අය බලන්නේ තමන්ට අහිමි වූ බලය, මුදල් හරිහම්බ කර ගැනීමට තිබූ අවස්ථා ගිලිහී යාම පිළිබඳ ද්වේෂයයි. ඒ අය වන සත්ත්ව සමීක්ෂණයෙන් පවා දේශපාලනය කිරීමට තමයි උත්සාහ කරන්නේ.
ඒත් ඒ අය අද ජනතාව ඉදිරියේ විහිළුවක් වෙලා ඉවරයි. අප සිදු කරනු ලබන ජනහිතකාමී කාර්ය පිළිබඳව ජනතාව තුළ හොඳ පිළිගැනීමක් ඇතිව තිබෙනවා.
ඔබට මතක ඇති පසුගිය ජනාධිපතිවරණයේදී මෙවැනි පිරිස් දිගින් දිගටම වේදිකාවල කියූ අසත්‍ය කරුණු. ඔවුන් ජාතික ජන බලවේගය ගැන වැරැදි චිත්‍රයක් මවා පෙන්වීමට තමයි උත්සාහ කළේ, ඒවා ජනතාව පිළිගත්තේ නැහැ. අදත් ඔවුන් කියන දේවල් ජනතාව පිළිනොගන්නා බව ඉදිරියේදී පැහැදිලි වේවි.
ගොවි ජනතාව පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව වෙත විශාල විශ්වාසයක් ඇතිව ඡන්දය ලබා දුන්නා. අදත් ඒ විශ්වාසය සුරැකිද?
අප ගැන ගොවි ජනතාව ලොකු විශ්වාසයක් ඇතිව කටයුතු කළා. අපත් ගොවි ජනතාව වෙත අවශ්‍ය කරන උපරිම දේ කරමින් ඉන්නවා. පොහොර සහනාධාරය ඉහළ දැම්මා, වී සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා. ඇත්තෙන්ම එතෙක් මෙතෙක් වී සඳහා ලබා දුන් ඉහළම සහතික මිල ලබා දුන්නේ අප විසිනුයි. ඒ වගේම වන සත්ත්ව සංගණනයේ ප්‍රධාන අරමුණ බවට පත්වෙලා තිබෙන්නෙත් ගොවි ජනතාව වෙත සිදුවන හානි හඳුනාගෙන ඔවුන්ව ඒ හානිවලින් මුදා ගැනීමයි. අප ආණ්ඩුවක් විදිහට ගොවිජනතාව වෙත උපරිම සහයෝගය දායකත්වය ලබා දෙනවා.
උදිත ගුණවර්ධන