“බුදුරජාණන් වහන්සේ හේතූන්ගෙන් හට ගත් කුඩා, මහත් හැම භව සංස්කාරයක් ම අත්හැර දැමූ සේක. තමා තුළ ගොඩනැඟුණු අවබෝධයෙහි ඇලුණු සමාහිත සිත් ඇති මුනිඳාණන් ආයු සංස්කාරය අත්හැර වදාළේ තමා තුළ හට ගෙන තිබුණු අයෝමය සන්නාහයක් ගලවා විසි කර දමන පරිද්දෙනි.”
බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැර දැමීම පිළිබඳ බෞද්ධ ආගමික ඉගැන්වීමේ සඳහන් වන්නේ එපරිද්දෙනි. කෙනකුට තමන්ගේ ජීවිතයේ ඇති සියලු දේ අත්හැර දැමීමට සිදු වන බවත්, යම් යම් දේවලට ඇලීම වෙනුවට සිදු විය යුත්තේ අත්හැරීම බවත් එකී ආගමික ඉගැන්වීමේ සඳහන් වෙයි.
කෙනකුට රාජකාරි දිවි පෙවෙතේ විශ්‍රාම යෑම පිළිබඳ කාලයක් පිළිබඳව සඳහන් වන්නේ ද මේ හේතුවෙනි. පුද්ගලයකුගේ කායික හා මානසික ශ්‍රම ශක්තිය හීන වන බව සෞඛ්‍ය විද්‍යාත්මකව අප සෑම අයකු ම දන්නා කාරණයකි. වැඩ කිරීමට අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාව නැති වීම හේතු කොටගෙන කෙනකුට විශ්‍රාම යෑම සඳහා නිශ්චිත වයස් සීමාවක් පනවා ඇත්තේද මේ හේතුවෙනි. එහි අදහස කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය වැය කොට එවැනි අයගෙන් උපරිම ඵලදායිතාවක් ලබාගත නොහැකි වීම යන්නයි.
ශ්‍රී ලංකාවේ සෑම වෘත්තියකට ම විශ්‍රාම යෑම සඳහා වයස් සීමාවක් තිබුණ ද දේශපාලනය සඳහා විශ්‍රාම යෑමට වයස් සීමාවක් නැත.
එමෙන් ම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය තුළ බල ආධිපත්‍යය පවුල් කිහිපයකට සීමාව තිබූ බව ඔබ අප හොඳින් දන්නා කාරණයකි. එකී සාම්ප්‍රදායික පවුල් බල සංස්ථාව තුළ තමන්ට ඇති ඉතා කුඩා සුළු හෝ බලයක් අත්හැරීමට අකැමැති බව නිරූපණය කරන තවත් උදාහරණයක් පසුගියදා අසන්න ලැබිණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු වූ චමල් රාජපක්ෂ මහතා යළිත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට තරග කිරීමට සූදානම් බවට වූ ප්‍රවෘත්තියක් ජනමාධ්‍යවලින් දක්නට ලැබිණි. එමඟින් ගම්‍ය වන අදහස නම් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා තවමත් බලලෝභී දේශපාලනය අත්හැරීම සඳහා සූදානම් නැති බවයි.
අඩු ම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපති තනතුර සඳහා වත් ගමක සිටින අලුත් පරම්පරාවක තරුණයකුට ඉඩ නැති බව මෙහි අදහසයි. ඉහළ සිට පහළට පරමාදර්ශ දිය යුතු වුවත්, මේ සිදු වෙමින් පවතින්නේ පැරණි යල්පැන ගිය ගෝත්‍රික බල දේශපාලනයේ පිළිබිඹුවක් මිස අන් කවරක් ද?
චමල් රාජපක්ෂ මහතාගේ වර්තමාන වයස අවුරුදු 82කි. ඒ මහතා සභාවක පරිපාලනය මෙහෙයවීමට තරම් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් සිටීදැයි අපි නොදනිමු. එසේ වුවත් ග්‍රාමීය තරුණ දේශපාලනඥයකුට සැලසෙන ඉඩ අහිමි කිරීම පිළිබඳ ඔහු සවිඥානක ඇතැයි අපි සිතමු.
“යෞවනියනි, මේ රට හෙට නොව අද භාර ගන්නැ” යි පැවසුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකය. එහෙත් ඇය කිසි දිනක යෞවනයන්ට රට භාර දීමට තබා යෞවනයන් සඳහා කිසිදු වැඩසටහනක් සකස් කළේ වත් නැත.
මීට අමතරව, කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තරග කරන බව ද කියවිණි. අන්තර්ජාල වාර්තා පෙන්වා දෙන අන්දමට ඉරාන් වික්‍රමරත්න මහතාට මේ වන විට වයස අවුරුදු 67කි. රටේ ඉහළ ම ආයතනය වන පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතාට ද විශ්‍රාම යෑමට නොව, නගර සභාවකට තරග කිරීමට සිත් පහළ වී තිබේ.
ඒ මහත්වරුන්ට මැතිවරණ සඳහා තරග කිරීමට ඇති ප්රජාතන්ත්රවාදි අයිතිය අප වඩාත් ඉහළින් ම පිළිගන්නා බව ද මෙහිලා සඳහන් කළ යුතු ය.
මීට පෙර පැෆ්රල් සංවිධානය ද සඳහන් කර තිබුණේ වයස්ගත දේශපාලනඥයන් විශ්‍රාම ගැන්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. එමෙන් ම ග්‍රාමීය වශයෙන් හෝ නවක තරුණ තරුණියන්ට දේශපාලන ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්තා සලසා දීම සඳහා ක්‍රමවේද සකස් කළ යුතු බව ද එමඟින් කියවිණි.
රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු වෘත්තීන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාවක් පවතී නම්, දේශපාලනඥයන්ට එවැනි වයස් සීමාවක් නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇති කාරණයකි.
අලුත් පරපුරේ අදහස්වලින්, තරුණ නියෝජනයන්ගෙන් රටේ බලව්යූහයේ ධුරාවලිය සකස් විය යුතු ය. රටක් හෝ සමාජයක් ඉදිරියට ගමන් කරන්නේ එවිටය. තරුණ පරම්පරාවට, ඉදිරි පරම්පරාවට ඉඩ දී, ගෞරවනීය ලෙස වේදිකාවෙන් බැසගිය දේශපාලනඥයන්, ක්‍රීඩකයන්, කලාකරුවන් වැනි පුද්ගලයන් පිළිබඳ අපගේ මතකයේ වෙයි.
එයින් දේශපාලනඥයන්ට බලය පිළිබඳ ඇති ඇල්ම, කෑදරකම වෙනුවට අත්හැරීම පුරුදු පුහුණු වී නැති බව මේ අනුව පැහැදිලි වෙයි. බලදේශපාලනය යනු ඔවුන්ගේ සාම්ප්‍රදායික උරුමය යැයි ඔවුහු තවමත් කල්පනා කරති.
රටක් ආකල්පමය හා සමාජමය වශයෙන් ඉදිරියට ගමන් කිරීමට නම්, නව පරපුරේ තරුණ අදහස් හා නායකත්වයෙන් එය පෝෂණය විය යුතු ය. ඉදිරි පරම්පරාව පසු පරම්පරාවට ඒ ආදර්ශය දිය යුතු ය. එය කළ යුත්තේ තමන්ගේ පවුලේ හෝ පෙළැන්තියේ අයට බලය මාරු කිරීමෙන් නොව, රටේ බහුතර සමාජ නියෝජනයේ අදහස්වලට ඉඩ දීමෙනි.
එබැවින් එළඹෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා, සහ මහා නගර සභා තරුණ නියෝජිතයන්ගෙන් පිරී යනු ඇතැයි අපි අපේක්ෂා කරමු.