Home » තෙවැනි ලෝක යුද්ධය ඇරැඹී තිබේ මරණයේ වෙළෙන්දෝ අවදියෙන්

තෙවැනි ලෝක යුද්ධය ඇරැඹී තිබේ මරණයේ වෙළෙන්දෝ අවදියෙන්

by Gayan Abeykoon
March 12, 2025 4:14 pm 0 comment

පෘතුගීසි ජාතික Boaventura de Sousa Santos පෘතුගාලයේ Coimbra විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්යවරයෙකි. විස්කොන්ස් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් නීති විශාරදයෙකි. ලොව ප්‍රමුඛ පෙළේ නූතන වාමාංශික බුද්ධිමතකු ලෙස සැලකෙන ඔහු විසින් ලියන ලද Open Letter to Young People on World War III ලිපියෙහි සිංහල පරිවර්තනය යි.

 

මා මෙලෙස යෞවනයින්ට ආමන්ත්‍රණය කරන්නේ මගේ වයස නිසා මීළඟ ලෝක යුද්ධයට (තෙවන ලෝක යුද්ධයට) සටන් කිරීමට නොයන සහ එහි ආරම්භය දැකීමටවත් නොහැකි කෙනෙකු ලෙසිනි. මට අවශ්‍ය වූයේ හොඳින් පදනම් වී ඇතැයි මා විශ්වාස කරන පහත සඳහන් අදහස් ඔබ සමඟ බෙදා ගැනීමට ය. තුන්වන ලෝක යුද්ධයක් ළඟා වෙමින් පවතින බව මට ඒත්තු ගොස් තිබේ. පෙර පැවති යුද්ධ මෙන් නොව, මෙවර යුධ පිටිය සමස්ත ග්‍රහලෝකය වන අතර, පළමු වරට එයට එක්සත් ජනපද භූමිය ඇතුළත් වනු ඇත. මිලිටරි තාක්‍ෂණය සහ ඊට අනුබල දෙන කෘත්‍රිම බුද්ධිය කෙතරම් නවීන වුවත්, අහිංසක සිවිල් ජනතාව සමඟ මිලියන ගණනින් මිය යන සොල්දාදුවන්, පෙර පැවති ඕනෑම යුද්ධයකට වඩා භූමියට  අවශ්‍ය වනු ඇත. මෙම සොල්දාදුවන් තරුණයන් මිස යුධ නායකයන් නොවේ. ඔවුන් දේශපාලනඥයන් (යුද්ධ කිරීමේ තීරණය කිසි විටෙකත් ජනමත විචාරණයකට යොමු නොකරන) හෝ ව්‍යාපාරිකයන් සහ යුද – තාක්ෂණික සංකීර්ණයේ සමාගම්වල කොටස් හිමියන් වනු ඇත.

යුද්ධය ගැන අපට ඇති එකම නිසැක යමක් වෙත් නම් ඒ එය ආරම්භ වන්නේ කවදාදැයි අප දන්නා නමුත්, එය අවසන් වන්නේ කවදාද යන්න නොදැනීම යි. තුන්වන ලෝක සංග්‍රාමයේ විශේෂත්වය නම්, එය අවසන් වූ විට (සියලු‍ යුද්ධ අවසන් වන විට) මානව වර්ගයාගේ පැවැත්ම පමණක් නොව, පෘථිවියේ මනුෂ්‍ය නොවන ජීවය පළමු වරට අවදානමට ලක් වනු ඇත. එය ඩිස්ටෝපියානු අනාවැකියක් වන නමුත් එළිදරව්ව පිළිබඳ අදහස මත කේන්ද්‍රගත වූ ආගම් අද ව්‍යාප්ත වීමට තරම් යථාර්ථවාදී ය. ඔවුන්ගේ මෙන් නොව, මගේ පණිවිඩය බිය සහ බලාපොරොත්තුව පිළිබඳ අපෝහකය මත පදනම් වේ. බොහෝ යෞවනයන්ට අනාගතය දෙස බලන විට දැඩි බියක් හා කුඩා බලාපොරොත්තු ඇති බව මම දනිමි. ඔවුන්ට වැඩි බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, පෙනෙන විදිහට, තවදුරටත් තම සතුරන්ට බිය නොවන සහ බලාපොරොත්තුවේ තෘෂ්ණාව තුළ ජීවත් වන මේ ලෝකයේ බලවතුන් තුළ බිය ඇති කිරීමට ඔවුන් සූදානම් විය යුතුය. මා තව දුර යාමට කලින් තරුණ තරුණියන්ට කිව යුත්තේ මා ඉපදුණේ යුරෝපයේ වුවත්, මා කතා කරන්නේ ගෝලීය දකුණේ සිට දකුණේ ඥානවිභාගි කාච හරහා බවයි. මේ හේතුව නිසා මා ඉහත කී දේ අර්ධ සත්‍යයක් පමණි. ගෝලීය දකුණේ සිට බලන විට, තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇත (ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව පමණක් මතක තබා ගන්න). මම අනාගත තුන්වන ලෝක යුද්ධය ගැන කතා කරන විට, මා අදහස් කරන්නේ පවතින යුද්ධයේ පරිමාණය ඝාතීය (exponentially) ලෙස වැඩි වන අතර, එය ගෝලීය උතුරේ රටවලට ද ළඟා වනු ඇති බවත්, යුද්ධයක් හෝ වසංගතයක් ගෝලීය වීමට ඇති කොන්දේසිය බවත් පමණි.

යුද්ධය ප්‍රවර්ධනය හා උනන්දුව

සෑම යුද්ධයකදීම යුද්ධය ප්‍රවර්ධනය කිරීමට විශේෂ උනන්දුවක් දක්වන රටක් හෝ අධිරාජ්‍යයක් හෝ තිබේ. පළමු ලෝක යුද්ධයේ දී වඩාත් ආක්‍රමණශීලී වූයේ ජර්මානු අධිරාජ්‍යය යි. දෙවන ලෝක යුද්ධයේදී, හිට්ලර්ගේ ජර්මනිය යි. රුසියාව හෝ චීනය හෝ යුද්ධය ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බව ගෝලීය දකුණේ කිසිවකු විශ්වාස කරන්නේ නැත. නැඟී එන අධිරාජ්‍යයන් ශුන්‍ය එකතුවට (යුද්ධය වැනි) වඩා ධන එකතු කිරීමේ සම්බන්ධතාවලට කැමැත්තක් දක්වයි. ඔවුන්ගේ නැඟීම සහ බලපෑම වැඩි වීම පදනම් වී ඇත්තේ ඔවුන් යටත් වීමේ කොන්දේසිවලට යටත් වුවද, නව සහචරයින්ට සැබෑ වාසි ලබා දීම මත ය. ඔවුන් රාජ්‍ය තාන්ත්‍රිකත්වයට සහ බහුපාර්ශ්විකත්වයට කැමති වන්නේ එබැවිනි. 2022 දී යුක්රේනය ආක්‍රමණය කළේ රුසියාව වන විට රුසියාව යුද්ධයට උනන්දුවක් නොදක්වන බව අමුතුවෙන් පැවසිය හැකි ය. මා ඇතුළු සියලු‍ම සාම ක්‍රියාකාරීහු එම ආක්‍රමණය හෙළා දුටුවහ. ඔවුන් ආරම්භයේ සිටම (පසුව එය තහවුරු කරන ලදී).

1991 සෝවියට් සමූහාණ්ඩුවේ අවසානය දක්වා වූ සූදානමකින් එක්සත් ජනපදය විසින් ආක්‍රමණය අවුළුවා ඇත. ආරම්භයේ සිටම අරමුණ වූයේ රුසියාව දුර්වල කිරීම සහ එහි ඛණ්ඩනය අවුලු‍වාලීම යි. 1997 දී පෝලන්ත ජාතික එක්සත් ජනපද දේශපාලඥ Zbigniew Brzezinski රුසියාව විශාල ඒකක තුනකට බෙදීමට යෝජනා කළේ ය. 1999 දී රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් වන යුගෝස්ලාවියාවට (හෝ සර්බියාවට) බෝම්බ හෙළීමට තුඩු දුන්නේ, කොසෝවෝ හි දැවැන්ත එක්සත් ජනපද-නේටෝ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට හැකි වන පරිදි, කොටස් කැඩීම හරහා දුර්වල වීමේ තර්කයම ය. මූලෝපායික කවයන් තුළ, ඊනියා ඇෆ්ගන් උගුල, එනම් දුර්වල කිරීමේ අරමුණ ඇතිව 1979 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට එක්සත් ජනපදය විසින් භාවිත කරන ලද මාධ්‍යයන් (නැවතත් , Brzezinski යුගයේ) ගැන බොහෝ සාකච්ඡා කර ඇත. මෙම ලිපිය සඳහා එම විස්තර වැදගත් නොවන නමුත් ඒවා මත පදනම්ව රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, ‘යුක්රේන උගුල’ ඇෆ්ගනිස්ථාන උගුලේ නව අනුවාදයක් වූ බව සැක කළ හැකි ය. නමුත් ප්‍රතිඵලය බෙහෙවින් වෙනස් විය හැකි නමුත් ඇත්තේ එකම අරමුණු ය. ක්‍රිමියාව තුළ වන රුසියාවේ නාවික කඳවුරට එරෙහිව පලිහක් ලෙස ක්‍රියා කරන අනෙකුත් රටවල් සමඟ වෝර්සෝ ගිවිසුම අවසන් වීමෙන් පසු නේටෝව ස්ථීර කිරීම සහ යුක්‍රේනය නේටෝවට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ සෝවියට් සමූහාණ්ඩුව අවසන් වීමෙන් පසු යුක්‍රේන උගුල ගොඩනැඟීමට පටන් ගත්තේ ය. 1952 සිට නේටෝ සාමාජිකයෙකු වූ තුර්කියට අමතරව, රුමේනියාව සහ බල්ගේරියාව සන්ධානයට (2004) එක් වූහ. එහිදී ජෝර්ජියාව තවමත් අතුරුදන් වී ඇති අතර, මුලින්ම පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ උපාය මාර්ගය (regime change strategy) හරහා යා යුතු විය. (2014 දී යුක්රේනයේ භාවිත කළ උපාය මාර්ගය එයයි)

යුද්ධය ප්‍රවර්ධනය කරන අයට සැබෑ සාම සාකච්ඡා අවශ්‍ය නැති නමුත් සටන් කරන එක් පාර්ශ්වයක සහභාගීත්වයෙන් තොරව සාම යෝජනා අනුප්‍රාප්තික සංදර්ශන පවත්වයි. එවිට යුද්ධය දිගටම කරගෙන යාමේ බර දෙවැන්නා මත පැටවෙන අතර, එමඟින් ප්‍රචාරක යුද්ධය පෝෂණය වේ. යුද්ධය ආරම්භ වී මාස දෙකකට පසු රුසියාව සහ යුක්‍රේනය අතර පැවති එකම සැබෑ සාම සාකච්ඡාව එක්සත් ජනපදය වැළැක්වූයේ එලෙසිනි. මෙම ආකල්පයට ප්‍රතිවිරුද්ධව, 2008 සිට රුසියාව කලාපය සඳහා බරපතළ සාම සහ ආරක්ෂක යෝජනා පහක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සියල්ල එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එක්සත් ජනපදයේ මහා ප්‍රතිවාදියා රුසියාව නොව, චීනය බව අපි දැන් දනිමු. එක්සත් ජනපදය දැනට සම්බන්ධ වී සිටින ප්‍රධාන යුද රංග ශාලා තුන වන යුක්‍රේනය, පලස්තීනය (සහ පොදුවේ මැද පෙරදිග) සහ චීන මුහුද යන සියල්ලම එකම එල්ලයකට ඉලක්ක කර ඇත.  එනම්, චීනය හුදකලා කිරීම සහ චීනය යුරෝපයට සහ එක්සත් ජනපද බලපෑම් ප්‍රදේශවලට ප්‍රවේශ වීම වැළැක්වීම යි. යුද්ධය සැමවිටම අවසාන විසඳුම වන අතර, බොහෝ විට පාලන තන්ත්‍රය වෙනස් කිරීම, අස්ථාවර කිරීම, එනම් චීනය කෙරෙහි දුරස්ථභාවය සහ සතුරුකම ඇති කිරීමට හැකි වන පරිදි දේශපාලන වෙනස්කම් ඇති කිරීම සඳහා ඉලක්කගත රටවල අභ්‍යන්තර ජීවිතයට ක්‍රියාකාරී මැදිහත්වීම් සිදු කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් (BRICS+ ෂැංහයි සහයෝගිතා සංවිධානය) යම් නිදහසක් අපේක්ෂා කරන ජාත්‍යන්තර සන්ධානවල ප්‍රමුඛ රට චීනය බව අප මතක තබා ගන්නේ නම්, මෙම සන්ධානවල කොටසක් වන ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන අස්ථාවරත්වය, විශේෂයෙන් බ්‍රසීලය ඉලක්ක වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම (Regime change) යනු සීතල යුද්ධයේ සිට සංවර්ධනය කරන ලද උපාය මාර්ගයක් වන අතර, ලින්ඩ්සේ ඕ‘රූර්ක් a (Lindsey O’Rourke)ගේ  Covert Regime Change: America’s Secret Cold War පොතෙහි එය මැනවින් විවරණය කර ඇත. ඇත්ත වශයෙන්ම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම යටත් රාජ්‍යවල අභ්‍යන්තර ජීවිතයට මැදිහත් වීමට අධිරාජ්‍යය විසින් භාවිත කරනු ලබන එක් උපාය මාර්ගයක් පමණක් බව, හිටපු Financial Times මාධ්‍යවේදියකු වන Matt Kennard ගේ The Racket, A Rogue Reporter vs The American Empire යන ග්‍රන්ථයෙන් මනාව පෙන්වා දෙයි.

සූදානම් වීමේ සලකුණු

1931 දී, සුළුතරයක් විශ්වාස කරනු ලැබුවේ පෙර පැවති යුද්ධය අවසන් වී වසර පහළොවකට පසුව නව යුද්ධයක් ඇති විය හැකි බව යි. එහෙත් යුරෝපීයයන්ගේ රටවල් සහ විඥානය තුළ ෆැසිස්ට්වාදය සහ නාසිවාදය වර්ධනය වෙමින් පැවති අතර, ඔවුන් සමඟ ගැටුම් සඳහා රැඩිකල් විසඳුමක් ලෙස යුද්ධයේ තර්කනය වර්ධනය විය. 1936 දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ වූ අතර, එය අවසානයේ (1939), ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට්වාදයේ ජයග්‍රහණයත් සමඟ පුළුල් යුද්ධයක් වීම නොවැළැක්විය හැකි බව පෙනෙන්නට තිබුණි. 1937 සිට 1945 දක්වා චීන සමූහාණ්ඩුව සහ ජපන් අධිරාජ්‍යය අතර ඇති වූ දෙවන චීන-ජපන් යුද්ධය සම්බන්ධයෙන් ද එයම කිව හැකි ය.

යුද්ධයට සූදානම් වීම ආරම්භ වන්නේ පුරවැසියන්ගේ මනසෙනි. හදිසියේම, “ජාත්‍යන්තර ප්‍රජාව” (එනම් අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය) ප්‍රමුඛ දේශපාලනඥයන් බටහිර ශිෂ්ටාචාරයේ වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා යුද්ධය නොවැළැක්විය හැකිය යන අදහස යෝජනා කිරීමට පටන් ගනී. මෙම ප්‍රයෝජන මොනවාද යන්න හෝ තර්ජනය සමන්විත වන්නේ කුමකින් ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් නැති නමුත්, කථාවල ගාම්භීරත්වය විසින් තර්ජනය බරපතළ බවත්, කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් යෝජනා කරනු ලබයි. ජර්මානු ඇමතිවරයකු මෑතකදී ප්‍රකාශ කරනු ලැබුවේ වසර කිහිපයක් ඇතුළත යුරෝපය යළිත් යුද්ධයකට එළැඹෙනු ඇති බවයි. මේ සියල්ල පවසන්නේ පසුගිය ලෝක යුද්ධ දෙකේදී මියගිය මිලියන 78 ක් සහ සෑම විටම එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර රටවල ක්‍රියාකාරී මැදිහත්වීමත් සමඟින් ලෝකයේ විවිධ ප්‍රදේශවල එකිනෙකා පසුපස හඹා ගිය සියලු‍ම යුද්ධවලින් මිය ගිය තවත් මිලියන ගණනක්  සුළු කොට සලකන සාමාන්‍ය ස්වරයකිනි. කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, මධ්‍යම ඇමරිකාව, ඇල්ජීරියාව, ඇන්ගෝලාව, මොසැම්බික්, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය, සුඩානය සහ පලස්තීනය මෙබඳු යුද බිම් ය. දශක ගණනාවක් තිස්සේ හිරෝෂිමා සහ නාගසාකි පිළිබඳ මතකය සහ එයින් අදහස් කරන දැවැන්ත ව්‍යසනය නිසා යුද්ධයට විශාල බාධාවක් වූ න්‍යෂ්ටික තර්ජනය දැන් මිලිටරි කවයන් තුළ යථාර්ථවාදී හැකියාවක් ලෙස පෙනෙන්නට පටන් ගැනීම පුදුමයට කරුණකි. Annie Jacobsen (නාසි විද්‍යාඥයන් එක්සත් ජනපදයට ගෙන ආ රහස්‍ය සේවා වැඩසටහන වන Operation Paperclip  හෙළිදරව් කළ මාධ්‍යවේදියා) මා දැන් ලියා ඇති දේ ඉතා මැනවින් හෙළි කරන Nuclear War: A Scenario පොත ප්‍රකාශයට පත් කර ඇත.

යුද්ධයේ තීව්‍රතාවය සම්පූර්ණයෙන් දෝලනය වෙමින් පවතින අතර, තුන්වන ලෝක යුද්ධය ආසන්නයේ ඇති බවට තරුණයින්ට අනතුරු ඇඟවීමට මා යොමු කරන්නේ එය යි. දර්ශක දෙකක් මගේ අනතුරු ඇඟවීම සාධාරණීකරණය කරයි. එක් අතකින්, රුසියානු භූමියේ ඉලක්ක වෙත පහර දීම සඳහා නේටෝ රටවල් විසින් සපයනු ලබන මිසයිල සහ අනෙකුත් ආයුධ භාවිතය සඳහා කොළ එළිය ලබා දී ඇත. මෙයින් අදහස් කරන්නේ යුද්ධය රුසියාව සහ නේටෝව අතර යුද්ධයක් බවට හැරවීමයි. වෙනත් වචන වලින් කිවහොත්, න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක් බවට පත් කිරීමයි. අනෙක් අතට, එවකට නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් (Jens Stoltenberg) ජුනි මාසයේදී පැවසුවේ යුක්‍රේනයේ යුද්ධය සඳහා ඉහළ සූදානමකින් යුතුව නේටෝව සතු 500,000ක භට පිරිස් සිටින බවයි. මීට අමතරව, එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් හමුදා සේවය අනිවාර්ය කිරීමට හෝ තරුණයින්ට සන්නද්ධ හමුදාවට බැඳීමට තීරණය කිරීම පහසු කිරීමට හෝ පියවර ගනිමින් සිටී.

 

දේශපාලන වාචාල කතා

යුද්ධය ප්‍රවර්ධනය කිරීමේ වාචාලකම අදියර කිහිපයක් හරහා ගමන් කරයි. යුධ නායකයින් සැමවිටම ආරම්භ කරන්නේ සාමය ආරක්ෂා කිරීමේ නාමයෙන් යුද්ධය ප්‍රවර්ධනය කිරීමෙනි. ඔවුහු ගැටුම් තත්ත්වයන් උග්‍ර කරති. අනෙක් අතට, ඒවා, පැතිරීම නැවැත්වීමේ පියවර ලෙස සාධාරණීකරණය කරති. ඔවුහු ආරක්ෂාකාරී යැයි කියමින් ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග ගනිති. මෙම වාචාලකම සාම ක්‍රියාකාරීන්ගේ හෘද සාක්ෂිය හිරිවැටීමට සලස්ව යි. මෙම පරමාර්ථය බොහෝ දුරට සාක්ෂාත් කර ගත් විට, නව අවධියක් ආරම්භ වේ. එනම්, සාමය සඳහා අරගලයේ නොසැලී සිටින අය යක්ෂාවේශ කිරීම සහ පීඩා කිරීමයි. හදිසියේම ඔවුන් සතුරාගේ සේවයේ යෙදී සිටින, සතුරා වෙතින් මුදල් ලබා ගන්නා, සාමය සහ බටහිර ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමේ උදාර යුද ප්‍රයත්නයේ දේශප්‍රේමී අරමුණට ද්‍රෝහීන් ලෙස අපකීර්තියට පත් වේ. අපකීර්තියට පසුව සිදු වන්නේ පීඩාවන් ක්‍රියාත්මක කිරීමයි. අනෙක් අතට, ආයුධ සමාගම්වල ඝාතීය (exponentially) ලාභය දැන් ආර්ථික ශක්තියේ සලකුණක් ලෙස ප්‍රශංසාවට ලක්වන අතර, මීට පෙර ඔවුන් සලකනු ලැබුවේ “මරණයේ වෙළෙන්දන්” (merchants of death) හෝ “යුද ජාවාරම්කරුවන්” : (war profiteers) ලෙසිනි.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, දෙවන ලෝක සංග්‍රාමය තම බලය, යුද්ධයට සූදානම් වීම වෙනුවට මිලිටරි බලය තුළ රැඳී සිටීමට වැඩි වශයෙන් අවධාරණය කර ඇති රට වන අතර, අපි කුලුනු  හතරකින් පවත්වා ගෙන යන සීමිත නමුත් ස්ථිර යුද්ධයක ප්‍රතිපත්තියක් දකිමු. එනම්

ඔවුන් මැදිහත් වී ඇති යුද්ධවල (නිරිතදිග ආසියාව සහ මැද පෙරදිග) අනුප්‍රාප්තික පරාජයන්, දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් හරහා  ජයග්‍රහණ බවට පරිවර්තනය වේ.

ජනගහනයේ යහපැවැත්මේ ප්‍රමුඛතාව, ක්‍රමයෙන් ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතාව මගින් ප්‍රතිස්ථාපනය වන අතර, එය අහම්බෙන් බාහිර හා අභ්‍යන්තර මානයකින් යුක්ත වේ (ලෝක ජනගහනයෙන් 5% ක් පමණක් සිටියද, එක්සත් ජනපදයේ ලෝක සිරකරුවන්ගෙන් 25% ක් සිටිති).

මිලිටරි අයවැය ඝාතීය ලෙස වර්ධනය වන අතර, ඒවායේ වර්ධනය කිසි විටෙකත් ප්‍රශ්න නොකෙරේ.

අවසාන වශයෙන්, මැතිවරණ ක්‍රියාවලීන් හසුරුවනු ලබන්නේ මිලිටරිවාදයේ ප්‍රවර්ධකයන්ට සෑම විටම මැතිවරණ ජයග්‍රහණය කිරීමට ය.

භීතිය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව

යුද්ධය, ධනවාදයට සහ යටත්විජිතවාදයට විවිධ ආකාරවලින් සේවය කරයි. ප්‍රධාන ඒවා අතරින් අපට, යුද අවි නිෂ්පාදන සමාගම් වෙන්කර හඳුනාගත හැකිය (එක්සත් ජනපද මිලිටරි කර්මාන්තය ගෝලීය ආයුධ වෙළෙඳාමෙන් 45% ක් පාලනය කරන අතර, එහි ලාභය යුක්‍රේනයේ යුද්ධය සහ ගාසාවේ යුද්ධය සමඟ ඝාතීය ලෙස ඉහළ ගොස් ඇත). මූල්‍ය ප්‍රාග්ධනය (යුක්‍රේනය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – IMF –  තුන්වන විශාලතම ණය ගැතියා වේ) ස්වභාවික සම්පත් සඳහා ප්‍රවේශය (‘යුරෝපයේ පාන් කූඩය’ – Breadbasket of Europe)  ලෙස සැලකෙන යුක්‍රේනයේ වගා කිරීම අතින් පොහොසත් ඉඩම් හෙක්ටයාර මිලියන 33 න් 30% ක් පමණ දැනටමත් විශාල විදේශීය කෘෂි කාර්මික සමාගම් දහයක් සතුය). ගාසා තීරයේ සිදු වූ ජන සංහාරය හෙළාදකින අතරම, 1960 ගණන්වල යෝජනා කරන ලද සහ නැවත වරක් යුධ නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව, ඊශ්‍රායලය සහ එහි සහචරයින් විසින් කළමනාකරණය කරන ලද සූවස් ඇළට විකල්ප ඇළක් වන බෙන් ගුරියන් ඇළ (Ben Gurion Canal) ව්‍යාපෘතිය අප අමතක නොකළ යුතු ය. මෙම ඇළ රතු මුහුදේ අකාබා බොක්ක මධ්‍යධරණී මුහුදට සම්බන්ධ කරයි. දිගු, නමුත් සූවස් ඇළට වඩා වැඩි ධාරිතාවක් සහිත සහ ඊජිප්තු පාලනයෙන් බැහැර (අතීතයේ ඊශ්‍රායලයට හෝ ඉන් පිටතට නැව් ගමන් කිරීම නැවත නැවතත් අවහිර කර ඇති) මෙම ඇළ චීනයේ නව සේද මාවතට විකල්පයක් විය හැකි ය.

ඔවුන් කෙතරම් නවීන තාක්‍ෂණය, රොබෝ බල්ලන් සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කළද, මා විසින් අමතනු ලබන යෞවනයින් තුන්වන ලෝක යුද්ධයේ ‘කාලතුවක්කුවල ආහාරය’ (cannon fodder) වනු ඇත.  දෙවන ලෝක සංග්‍රාමයේදී නැඟෙනහිර සහ උතුරු ජර්මානු පෙරමුණේ Curzio Malaparte ගේ යුධ දිනපොත වන Kaputt කියවන විට, මගේ සිතට තදින්ම කාවැදුණු දෙයක් නම්, තරුණ ජර්මානුවන් සහ ඔවුන්ගේ සතුරන් දහස් ගණනින් මිය යමින්, පැනයමින් හෝ පිස්සු වැටී, ගමනාන්තයක් හෝ අනාගතයක් නොමැතිව වනාන්තර හරහා ඇවිදිමින් හෝ අනුකම්පාසහගත උණ්ඩයක් එනතුරු බලා සිටින අතරතුර, හිට්ලර්ගේ මිත්‍ර සෙන්පතියන් සහ දේශපාලනඥයින් විසින් හොඳම වයින් සහ රූමත් කාන්තාවන් සමඟ අතිශය විචිත්‍රවත් ප්‍රණීත ආහාර සහිතව පවත්වන ලද උද්යෝගිමත් භෝජන සංග්‍රහයන් පිළිබඳ විස්තරයයි.

තුන්වන ලෝක සංග්‍රාමය පැතිරීම වැළැක්වීමට සහ එයට බිය වන අයට බලාපොරොත්තුවක් ලබා දීමට නම්, එය ප්‍රවර්ධනය කරන අය තුළ භීතිය ඇති කිරීම අවශ්‍ය වේ. ගාසා තීරයේ පලස්තීන ජන සංහාරයට එරෙහි සටනෙන් දැන් අලු‍ත් වී ඇති සාම ව්‍යාපාරය බලාපොරොත්තුවේ සලකුණක් වන නමුත් එය ප්‍රමාණවත් නොවේ. යුද්ධය සෑම විටම විශාල වශයෙන් බිය උපාමාරු දැමීමේ ප්‍රතිඵලයක් වන අතර, අවදානම්, අහිමිවීම්, අස්ථිරභාවය සහ සමාජ අයිතීන් ඛාදනය වීමේ කොන්දේසි නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයකි. සියල්ලටත් වඩා, මේ සියල්ලට එරෙහි අරගලයන් ඛණ්ඩනය වීමෙන් එහි අතුරු ප්‍රතිඵල ඇති වේ. ඛණ්ඩනය වැඩි වන තරමට, අදෘශ්‍යමාන බලය සහ ආධිපත්‍යය වැඩි වන අතර, ඊටත් වඩා ගොදුරු වූ අනෙකුත් වින්දිතයින්ට එරෙහිව වින්දිතයින් නැඟී සිටීමේ අවදානම වැඩි වෙමින්, භූමියෙන් හෙළා දකින අය භූමියෙන් ඊටත් වඩා හෙළාදකින වෙනත් කණ්ඩායම් සමඟ සටන් කරනු ඇත. ධනවාදය, යටත්විජිතවාදය සහ විෂම පීතෘමූලිකත්වය යන ප්‍රධාන නූතන ආධිපත්‍ය තුනට එරෙහිව සමාජ අරගල ප්‍රකාශ කිරීම, සාම විකල්පයන් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කොන්දේසිය වේ. මේ කාලයේ මිනිසා සහ සොබාදහම විසින් ඉල්ලා සිටින සාමය සඳහා ප්‍රමාණවත් කොන්දේසිය වන්නේ දැනුම සහ අධ්‍යාපන ප්‍රතිපත්ති නැවත සොයා ගැනීම යි. එවිට ඒවායින් නොපැමිණීමේ සමාජ විද්‍යාව (sociology of absences)  ලෙස මා හඳුන්වන ධනේශ්වර විරෝධී, යටත් විජිත විරෝධී සහ පීතෘමූලික විරෝධී විකල්ප සමූහයක් ලොව පුරා ව්‍යාප්ත වන ආකාරය හෙළි කරනු ඇත.

අපට අවශ්‍ය විකල්ප නොව, විකල්ප ගැන විකල්ප චින්තනයකි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT