දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ ඉන්දියානු මලල ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධාන කරන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය (SAAC) ඉන්දියාවේ රංචි නගරයේදී ලබන මැයි 03 සිට 05 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ ශූරතාවලිය අවසන් වරට 2008දී කොචින්හි පැවැති අතර, ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ඇති කරමින් වසර 17කට පසු යළි සංචිධානය වීම විශේෂත්වයකි.
මේ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය රාන්චිහි බිර්සා මුන්ඩා මලල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත් ඉදිරි සතියේදී එම ශූරතාවලියට අයත් තරග ඉසව් නිවේදනය කරන බවත් දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළේය. එම තරග ඉසව් ප්‍රකාශයට පත්කරනතුරු සහභාගි වන රටවල සංචිත සකස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. එබැවින් ඉන්දියානු මලල ක්‍රීඩා සම්මේලනය සමඟ සාකච්ඡා කොට ඉක්මණින් තරග කාලසටහන නිකුත් කිරීමට කටයුතු කරන බව දකුණු ආසියා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයකු ‘දිනමිණ’ට පැවැසීය.
දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත කලාපීය සහ ජාත්‍යන්තර තරග සඳහා හොඳ සූදානමක් ලෙස මේ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සැලකේ.
අවසන් වරට 2008දී කොචින්හි පැවැති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඉන්දියාව රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණි අතර, ශ්‍රී ලංකාව රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 15ක් සමඟ දෙවැනි තැනට පත් විය. පාකිස්තානය රන් 3ක්, රිදී 6ක් හා ලෝකඩ 5ක් දිනා ගෙන තෙවැනි තැනට පත් විය.
එම ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ පිල මිනිත්තු 3:08.93කින් නව තරග වාර්තාවක් බිහි කළ අතර, ඉන්දියාව මිනිත්තු 3:10.44කින් දෙවැනි තැනට හා පාකිස්තානය මිනිත්තු 3:24.54කින් තෙවැනි තැන දිනා ගත්තේය.
මීටර් 100 තරගයේදී ශ්‍රී ලංකාවේ ඩී.ඩී.පී ප්‍රියදර්ශනී තත්පර 11.74කින් නව තරග වාර්තාවක් බිහිකළ අතර, ජානි චතුරංගනී ද සිල්වා තත්පර 11.87කින් එවක හොඳම පෞද්ගලික දක්ෂතාවයට පිවිසියාය. ඉන්දියාවේ එච්.එම්. ජෝති තත්පර 12.01කින් තෙවැනි තැනට පත්වූවාය.