ශිෂ්ට සමාජයක් නිර්මාණයට අවශ්‍ය වෙනස්කම් අධ්‍යාපනයේ සිදුකරනවා
අගමැතිනි හරිනි අමරසූරිය
ශිෂ්ට සම්පන්න සමාජයක් නිර්මාණය සඳහා අධ්‍යාපනය මානුෂීය විය යුතු අතර එම වෙනස වත්මන් ආණ්ඩුව මඟින් සිදු කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසුවාය.
අධ්‍යාපනය විෂය සම්බන්ධයෙන් බැලිය යුත්තේ කිසිදු භේදයකින් තොරව බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 619ක් අයවැයෙන් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රාග්ධන වියදමට බිලියන 21ක් වෙන්කර තිබෙනවා. මෑත ඉතිහාසයේ අධ්‍යාපන ප්රාග්ධනයට වෙන් වූ වැඩිම මුදල මෙය වෙනවා. අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. කුලුනු පහකින් යුක්තව අධ්‍යාපනය සංවර්ධනය කරන්න අපි කටයුතු කරනවා. පළමු කුලුන වන්නේ විෂය නිර්දේශය. එය යාවත්කාලීන කළ යුතුයි. එසේම මානව සම්පත බිහි කිරීමේ දිශාවට ගෙන යා හැකි විෂය මාලාවක් සකස් කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 250ක් අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා. ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 160ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට නම් විෂය නිර්දේශය පමණක් වෙනස් කිරීම ප්‍රමාණවත් නැහැ. මේ විෂය නිර්දේශය වෙනස් කිරීමේදී මානව සම්පතත් සකස් කළ යුතුයි. එය දෙවැනි කුලුන වෙනවා. ගුරුවරු, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් එහිදී වැදගත්. ඒ සඳහා රුපියල් මිලියන 1640ක් වෙන් කර තිබෙනවා.
යහපාලන කාලය තුළදී භාගෙට සකස් කළ ගොඩනැඟිලි තිබෙනවා. භාගෙට හැදූ ගොඩනැඟිලි සම්පූර්ණ කර දරුවන්ට ලැබිය යුතු පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 11,000ක් වෙන් කර තිබෙනවා. එම මිලියන 11,000 අතරින් විශේෂයෙන්ම සනීපාරක්ෂාවට වැඩි අවධානයක් යොමු කරනවා. සනීපාරක්ෂක පහසුකම් නැති පාසල්වලට යාම මේ වසරේ අවසන් කළ යුතුයි. එය පිළිගත හැකි දෙයක් නොවේ. වතු ක්ෂේත්‍රය සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. රේඛීය අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 11,126ක් වෙන් කර තිබෙනවා. පළාත් සභා හරහා රුපියල් මිලියන 14,896ක් වෙන් කරනවා. එය අපේ තුන්වැනි කුලුන. හතරවැනි කුලුන වන්නේ ඇගයීම් කටයුතු. ඇගැයීම් සඳහා රුපියල් මිලියන 12,360ක් විභාග දෙපාර්තමේන්තුවට වෙන් කර තිබෙනවා. උසස් අධ්‍යාපනයේ යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 36,841ක් වෙන් කර තිබෙනවා. දරුවන්ගේ නේවාසික පහසුකම් ගැන බැලිය යුතුයි.
වෘත්තීය අධ්‍යාපනය අද ලෝකයට ගැළපෙන ආකාරයට සැලසුම් කරනවා. මෙතැනින් තමයි ශ්‍රම බළකාය නිර්මාණය වෙන්නේ. නූතන ශ්‍රම බළකායේ අවශ්‍යතාව අනුව අනාගත ශ්‍රම බළකායට ගැළපෙන ආකාරයට දියුණු වෘත්තීය පුහුණුවක් ලබාදෙන ක්‍රමවේදයක් අපි සැලසුම් කරනවා.
රුවන්පුර අධිවේගයේ ඉදිකිරීම් වෙනුවෙන් පවරාගත් දේපළවලට මිලියන 5227ක් වන්දි ගෙවා තිබෙනවා
ඇමැති බිමල් රත්නායක
රුවන්පුර අධිවේගි මාර්ගය ඉදිකිරිම වෙනුවෙන් පවරාගත් ඉඩම් හා දේපළ වෙනුවෙන් 2022 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 5227.66ක් වන්දි මුදල් ලෙස ගෙවා ඇතැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී (10) ප්‍රකාශ කළේය.
2022 වසරේදී රුපියල් මිලියන 1180ක්, 2023 වසරේදී රුපියල් මිලියන 1925ක්ද, 2024 වසරේ රුපියල් මිලියන 2500ක්ද වශයෙන් රුපියල් මිලියන 5098ක් ගෙවා ඇති අතර ඉඩම් කැබලි 31ක් සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 129.66ක් ද වශයෙන් රුපියල් මිලියන 5227ක මුදල ගෙවා ඇතිබවද සභානායකවරයා පැවසීය.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රී අරුණ පනාගොඩ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අතරමඟ නතර කර ඇති බවයි.
මෙහිදි අදාළ ප්‍රශ්නය යොමුකළ පාර්ලිමේන්තු මන්ත්රී අරුණ පනාගොඩ මහතා සඳහන්කළේ රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් කැබලි 592ක් රජය විසින් පවරා ගනු ලැබුවද එම ඉඩම් සඳහා පළාත් පාලන ආයතන විසින් තවමත් වරිපනම් බදු මුදල් අයකර ගන්නා බවයි.
ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ වන්දි ගෙවීමේ කටයුතු තවමත් කෙරීගෙන යන අතර වරිපනම් අය කර ගැනීම අදාළ පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කර විසඳාගත යුතු බවයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධවූ අයගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා
රෝහිණී කුමාරි කවිරත්න
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුව ඇති බරපතළම අර්බුදය වන්නේ දිගින් දිගටම ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදි ඊයේ (10) ප්‍රකාශ කළාය.
එබැවින් තවදුරටත් කල් නොදමා කාලයට ගැළපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුබවද කවිරත්න මහත්මිය සඳහන් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූවන්ගේ දරුවන් වැඩි වශයෙන් අද සිටින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබමින් බවද රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය සඳහන් කළාය.
රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද සඳහන් කළාය
මේ වෙනකොට උතුරු නැඟෙනහිර පළාත්වල ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ මූළික කටයුතු සිදුකර තිබෙනවා. බඳවා ගැනීම් ටික කරන්න. අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිතුමිය හොර සහතික දීලා නැහැ කියලා අපි දන්නවා. අපිට ඔබතුමිය ගැන ඒ විශ්වාසය තිබෙනවා. අපි හැමෝම හිටියේ එක මතයක. අද අපි දෙපැත්තකට වෙලා මේ කතා කරන්නේ එක පැත්තකට වෙලා දිනාගත යුතුයි කියලා කියන කරුණු ටිකමයි. අපි දැකපු හරිනි අමරසූරිය මෙණෙවිය වෙනස් කෙනෙක්.
අපි දන්නා ඉතිහාසය තුළ රටේ සුවිශේෂී නායකයන් රැසක් අධ්‍යාපන අමාත්‍ය ධුර දරා තිබෙනවා. අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි යුගයේ අවශ්‍යතාව අනුව ප්‍රතිසංස්කරණය වුණේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන්නට ඉඩ දුන්නේ නැහැ. 1960 දී ධවල පත්‍රිකා හරහා අධ්‍යාපනය වෙනස් කරන්න හැදුවා. ඉන්පසුව අවස්ථා කිහිපයක් උත්සාහ කළා. ඒ වගේම ඒ දේවල් නිවැරදිව කරන්න බැරිවුණ නිසා තමයි අපගේ විශ්වවිද්‍යාල ආදිය එකතැන පල් වෙන්නේ.
අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට හදපු හැම වෙලාවකම දේශපාලන මැදිහත්විම මත හෝ ශිෂ්‍ය ව්‍යාපාරවල මැදිහත්වීම මත කරන්නට බැරි වුණා. 1981 දී ගෙනා ධවල පත්‍රිකා තවත් එකක්. අධ්‍යාපනයේදී සිදුවූ ලොකුම වරද තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාවලට විරුද්ධ වීම. ධවල පත්‍රිකාවට විරුද්ධවූ අයගේ දරුවො අද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුණ එකේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. යම් මුදලක් වියදම් කරලා ඉගෙනගන්න පුළුවන් අය විදෙස් විශ්වවිද්‍යාලවලට ගියා. බැරි අය රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගියා. මෙතන සිටි මැති ඇමැතිවරුන්ගේ දරුවො කී දෙනෙක් අද පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවද යැයි කීවාය.
වතුකරයේ පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මක බවත් වැඩි කරන්න
මන්ත්රී වේලුසාමි රාධක්‍රිෂ්ණන්
වතුකරයේ පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ වගකීම වත්මන් රජයට පැවරෙන බව නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
එමෙන්ම උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාවද වැඩිකළ යුතු බව ද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රී රාධක්‍රිෂ්ණන් මහතා මේ බව සඳහන් කළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී රාධක්‍රිෂ්ණන් මහතා මෙසේද පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී උඩරට වතුකරයේ පාසල් සඳහා ගුරු පත්වීම් 3400ක් ලබා දුන්නා. ඉන්පසුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගුරුවරුන් 3,500ක් පත් කළා. යහපාලන රජය සමයේ ගුරුවරුන් 3190 දෙනෙකු නැවත පත්කළා.
උඩරට වතුකරය වෙනුවෙන් අමතර ගුරුවරුන් 2,500ක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බව වාර්තා වෙනවා. නඩුව අවසන් වූ පසු එම ගුරු පත්වීම් වහාම ලබාදීමට අගමැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමිය පියවර ගත යුතුයි.
කඳුකර ප්‍රදේශවල සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන පාසල් තවදුරටත් නවීකරණය කිරීමට පියවර ගතයුතුයි.. එවැනි පහසුකම් ඇති කළහොත් පමණක් තවත් කඳුකර සිසුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනු ඇත.
වතුකරයේ පාසල්වල අධ්‍යාපනය ගුණාත්මක බවින් පොහොසත් නැහැ. එම පාසල්වලට උපාධිධාරි ගුරුවරුන් පිරිසක් බඳවාගන්නට කටයුතු කරන්න.
කඳුකර ප්‍රදේශවල දෙමළ මාධ්‍ය පාසල්වලට පත් කරන ලද උපාධිධාරී ගුරුවරුන් සංඛ්‍යාව ඉතා අඩුය. අපේ කාලයේ ඉන්දියාවෙන් ගුරුවරුන් ලංකාවට ගෙන්වා ගැනීමට තීරණය කළ විට, ජනතා විමුක්ති පෙරමුණම එයට විරුද්ධ වුණා. ඒ නිසා වත්මන් රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
රජය මෙවර අයවැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සඳහා දේශීය හා විදේශීය වශයෙන් විශාල අරමුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වඩා හොඳින් සංවර්ධනය කිරීම සඳහා මෙය භාවිත කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
දැවැන්ත පෙරළියක් කරමින් ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට 2026දී පත්කරනවා
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ
සෑම වෘත්තියකටම ගරුත්වයක් තිබිය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
වසර 2026 සිට දැවැන්ත පෙරළියක් කරමින් ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
රටක සංවර්ධනයට අධ්‍යාපනය මූලික පදනමක් වෙනවා. සියලු අමාත්‍යාංශවලට මවු අමාත්‍යාංශය විය යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය. විපක්ෂය වගේ කවදාවත්ම අධ්‍යාපනය නිලෙන් කොළෙන් වෙනස් කරන්නේ නැහැ. ඒ වගේම එයාලා දුප්පත්කම තුරන් කරන්නේ නැහැ. එයාලගේ බලයට හේතුව වුණේ මෙරට ජනතාවගේ දුප්පත්කම සහ නූගත්කම. එය අපි වෙනස් කළ යුතුයි. ඒ කාලයේ සක්වල, හුස්ම වැඩසටහන් පාසල් පද්ධතිය තුළට සජිත් ප්‍රේමදාස මහතා ගෙන ගියා. දැනුම කොටස් දෙකයි. ඉන්ද්‍රීය ගෝචර දැනුම. අනෙක තාර්කික දැනුම. පසුගිය කාලය තුළ විපක්ෂය මේ දැනුමෙන් එකක් වැහුවා. තාර්කික දැනුම කියන එක එයාලා වැහුවා. ලොකු කුලුනු ගැහුවා, දිග පාරවල් හැදුවා, ලොකු වළවල් කැපුවා. එය තමයි අධ්‍යාපනය කියලා ඔවුන් පෙන්නුවා. යමක් භක්තියෙන් පිළිගැනීම ජනතාව පෙලඹවීම පසුගිය ආණ්ඩුවලින් කළා. අපට අවශ්‍ය වන්නේ තාර්තික මනුෂ්‍යයෙක් හදන්න. දැන් එය ඇරෙමින් පවතිනවා. අධ්‍යාපනය තුළ දැවැන්ත විෂමතාවක් තිබෙනවා. ජාතික පාසල්, පොකුරු පාසල් ඇතුළු පාසල් වර්ග ගණනාවක් පසුගිය කාලයේ හැදුවා. පාසල් 10000ක් තිබෙනවා. ඒ සංඛ්‍යාව 5000කට අඩු කළා නම් හොඳ පාසල් 5000ක් හදන්න පුළුවන්. ගුරුවරු 250,000ක් පමණ සිටිනවා. හොඳ පාසල් පද්ධතියක් හැදීමට මේ ගුරුවරු ප්‍රමාණවත්.
වෘත්තීය අධ්‍යාපනය තුළට ගන්නේ දැනට අධ්‍යාපනයෙන් හැලෙන දරුවන්. අපි එය වෙනස් කරනවා. වෘත්තීය අධ්‍යාපනයට දරුවන් යොමු නොවන කාරණා තිබෙනවා. එකක් මේ පද්ධතිය තුළ තිබෙන අඩුපාඩු.
2025 වර්ෂයේ ගුරු මාරු අප්‍රේල් මාසයේ අරඹනවා
නියෝජ්‍ය අමැති මධුර සෙනෙවිරත්න
2025 වර්ෂයට අදාළ ගුරු ස්ථාන මාරු ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
එමෙන්ම පුරප්පාඩු නොමැති අවස්ථාවලදී පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන බවත්, පුරප්පාඩු පවතිනවිට චක්‍රලේඛ ප්‍රකාරව බඳවා ගැනීම් සිදු කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම්ද සිදු කරන බවයි. 2024 ගුරු ස්ථාන මාරු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවා වර්ෂයකට අඩු කාලයක් තුළ ක්‍රියාත්මක කළ අතර, එම අත්දැකීම් මත මෙම වසරේ සිට වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද හෙතෙම පැවසීය.
මෙම වසරේ අප්‍රේල් මාසය තුළ 2025 වර්ෂයට අදාළව ස්ථාන මාරු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය කාලයේදී රජයේ පාසල්වලට සිදුන් ඇතුළත් කර ගැනීමේදී විශාල ලෙස දූෂණ, වංචාර සහ අක්‍රමිකතා සිදු කර ඇති බවට වාර්තා වී ඇත. මීට පෙර අවස්ථාවන්වලදී අධ්‍යාපන අමාත්‍යාවරයා විසින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම සිදු කර ඇති අතර, ඇතැම් අවස්ථාවල පන්ති කාමරයක් තුළ සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කර තිබෙනවා. පුරප්පාඩු නැති අවස්ථාවලදී අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මින් ඉදිරියේදී කටයුතු නොකරන අතර, පුරප්පාඩු පවතින විටදී පමණක් චක්‍ර ලේඛ ප්‍රකාරව කටයුතු කරනු ලබනවා.
ආබාධ සහිත වූවන්ට විශ්වවිද්‍යාල තුළ කිසිදු පහසුකමක් නැහැ
මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා
අධ්‍යාපනයේ දී ආබාධ සහිත වූවන්ට යුක්තිය ඉටු නොවුණොත් ඔවුන්ට ජීවිතය අතහැරෙන බව ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී විශේෂ අධ්‍යාපනය කෙරෙහිත් අවධානය යොමු විය යුතුයි. පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාත් ඉන් එහාත් විශේෂ අධ්‍යාපනයට අවස්ථාවක් ලබා දිය යුතුයි. විශේෂ අධ්‍යාපය සඳහා සිටිය යුතු ගුරුවරු මේ වන විට 400කට වැඩි සංඛ්‍යාවක හිඟයක් තිබෙනවා. විශේෂ අධ්‍යාපන පාඨමාලාව සඳහා මෙවර විද්‍යාපීඨවලට බඳවාගෙන තිබෙන්නෙ 15යි. ඒ තීරණය කවුරු ගත්තාද දන්නේ නැහැ. මේ වගේ අදූරදර්ශී තීරණ ගැනීමෙන් ආබාධිත ප්‍රජාවගේ අධ්‍යාපනයට බාධාවන් ඇති වෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ට අන්තර්කරණීය අධ්‍යාපනයක් සිදු වන්නේ නම් පන්ති කාමරය ප්‍රවේශ පහසුකම් සහිත එකක් විය යුතුයි. විභාග ක්‍රියාවලියේදී ප්‍රශ්න පත්‍ර සැකසීමේදීත් මේ අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ආබාධ සහිත වූවන්ට විශ්වවිද්‍යාල තුළ කිසිදු පහසුකමක් නැහැ. ආබාධ සහිත වූවන්ට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් දැනුම්වත් කළා. බ්‍රේල් පරිවර්තන නිලධාරියෙක්, නූතන තාක්ෂණය හඳුන්වා දෙන නිලධාරියෙක්, සංඥා භාෂාව හැසිරවිය හැකි නිලධාරියෙක් සහිත ඒකකයක් සෑම විශ්වවිද්‍යාලයක් තුළම පිහිටුවන්න කියලා යෝජනා කරනවා.
අධ්‍යාපනය යනු ගොඩනැඟිලි හැදීම නොවෙයි
මන්ත්‍රිනි කෞශල්‍යා ආරියරත්න
පාසල් අතර තිබෙන විෂමතාව නැති කර සියලු පාසල්වල තත්ත්වය උසස් කරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසුවාය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
අධ්‍යාපනය යනු ගොඩනැඟිලි හැදීමම පමණක් නෙවෙයි. ගොඩනැඟිලි හදන විට ප්‍රමිතිය හොඳින් සෙවිය යුතුයි. ස්මාර්ට් පන්ති කාමර ගැන අපි කතා කරනවා. තාක්ෂණයේ නාමයෙන් පසුගිය ආණ්ඩුව කාලයේ සොරකම් තිබෙනවා. පාසල් 1000 ක් සඳහා සුහුරු පුවරු ලබාදීමට චීන රජය සමඟ එකඟ වී තිබෙනවා. එම බෝඩ් අදටත් දිරාපත් වෙනවා. පාසල්වල සනීපාරක්ෂක ගැටලු තිබෙනවා. එහිදී සනීපාරක්ෂක තුවා බැහැර කරන ක්‍රමයක්වත් දැරියන්ට නැහැ. මේ ගැටලු නිරවද්‍ය කිරීමට අපි කටයුතු කරනවා. විශ්වවිද්‍යාලවල සාදා තිබෙන ගොඩනැඟිලි සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. ඒවායේ බාගෙට ඉදි කර තිබෙන ගොඩනැඟිලි ප්‍රමිතියෙන් යුතුද කියන ගැටලුවක් තිබෙනවා. මෙවර මහපොළ ශිෂ්‍යත්ව රුපියල් 10,000 ක් දක්වා වැඩි කළා. වාමාංශික සටන්වල ප්‍රතිඵලයක් ලෙස අද මේ තත්ත්වයෙන් අධ්‍යාපනය පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇති බවත් මතක් කරන්න ඕන. රජයට අත් නොහැර හැරිය හැකි ක්ෂේත්රයක් තමයි අධ්‍යාපනය. එම නිසා රජය වගකීමෙන් යුතුව අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරනවා.