පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ, සියලු දෙනාම එකමුතුව හෝ අලියා ලකුණ යටතේ තරගවැදීමට එක්වන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් වෙත ලිපි යවා තිබේ.
එසේ නොහැකි නම් ඒකාබද්ධවී ස්වාධීන කණ්ඩායමක් ලෙස පොදු ලකුණකින් ඉදිරිපත් විය හැකි බවත් අබේවර්ධන මහතා එම ලිපිය මඟින් යෝජනා කර තිබේ. ස්වාධීනව තරග කිරීමෙන් පසුවත් තම පක්ෂවල දේශපාලන නායකයන් සහ පක්ෂය සමඟ කටයුතු කිරීමට බාධාවක් නොමැති බවත් සිය අනන්‍යතාව සහ තම පක්ෂවල සාමාජිකත්වය තබාගෙන කටයුතු කළ හැකි බවත් අබේවර්ධන මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කළහොත් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගත නොහැකි බවත් එකමුතුව තරග කිරීමෙන් සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබේ. එකමුතුව තරග කිරීමට මෙම 17 දා දක්වා කල් තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.