මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවක් ලෙස මිලියන 5342ක අරමුදලක් තිබියදීත් සේවක වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් යැයි කියමින් කොරෝනා කාලයේදී මහා භාණ්ඩාගාරයෙන් වරින්වර රුපියල් මිලියන 732.5ක මුදලක් ගැනීම මතහේදයට තුඩුදෙන ගනු-දෙනුවක් යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම නිසා සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී තිබුණු 2020 මාර්තු 14 දින සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රවේශපත් අලෙවිය නතර වී තිබුණි.
මේ නිසා සේවක වැටුප් ගෙවීමට මසකට වැයවන රුපියල් මිලියන 110ක පමණ මුදල සහ වෙනත් අත්‍යවශ්‍ය නඩත්තු වියදම් වන ජලය, විදුලිය දුරකතන ඉන්ධන ආදිය සඳහා මසකට රුපියල් මිලියන 25ක් ඇතුළු රුපියල් මිලියන 135ක මුදලක් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වන තෙක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබුණි.
ඒ බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද අංක MBCRA/CA/CP/2020-17 හා 2020 ජුනි 17 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟිනි. එයට 2020 ජූලි 03 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.
නමුත් ඒ වන විටත් 2010 දෙසැම්බර් 31 දිනට අරමුදල සතුව නිශ්චිත අවස්ථාවකට අදාළ නොවූ අතිරික්ත අරමුදල් ආයෝජනය කර තිබූ ස්ථාවර තැන්පතු රුපියල් මිලියන 5342ක් තිබිණි. එසේ තිබියදී 2020 වර්ෂයේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළදී රුපියල් මිලියන 405ක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගෙන තිබුණි. එසේම 2020 දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු රුපියල් මිලියන 5040ක් පැවැතිය දී 2021 වර්ෂය තුළ ද, රුපියල් මිලියන 327.2ක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇත.
ඒ අනුව ස්ථාවර තැන්පතුවක් ලෙස මිලියන ගණනක් මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව තිබියදීත් සේවක වැටුප් හා අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් යැයි කියමින් කොරෝනා කාලයේදී මහාභාණ්ඩාගාරයෙන් වරින්වර ලබාගෙන ඇති මුළු මුදල රුපියල් මිලියන732.5කි. මෙලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතුවලට මුදල් තිබියදීත්, භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට කටයුතු කිරීම විගණනයේ දී ගැටලු සහගත වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
2018/2019 වර්ෂයන්හිදී විශාල වශයෙන් වියදම් දරා සිදු කරන ලද ව්‍යාපෘතීන් සඳහා ගෙවීම් සිදුකිරීම, 2020/ 2021 වර්ෂවලදී රටේ පැවැති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්රලෙස පහත වැටීම හේතුවෙන් ආදායම නොලැබී යාම යන කරුණු හේතුවෙන් අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මෙලෙස භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට සිදුවූ බව කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත. එසේ වුවත් අරමුදලේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ඇතුළු පුනරාවර්තන වියදම් පියවා ගැනීමට කිසිදු මුදලක් අරමුදලට රැස් නොවන බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ දක්වා තිබී ඇතැයිද ජාතික විගණන කාර්යාලයේ නිරීක්ෂණවල දැක්වෙයි.
අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් එලෙස දැනුම් දෙන අවස්ථාවේත් ස්ථාවර තැන්පතු ලෙස රුපියල් මිලියන 5000කට අධික මුදලක් පැවැති බවත්, එයින් පොලී උපයන බවත් අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් කර නැත. අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීමේදී නිවැරදි තොරතුරු ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව ද ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.