අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන කාන්තාවකගේ නිවෙසකට බීමතින් ගොස් සිටි කිළිනොච්චි පොලිසියේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයකුව ප්‍රදේශවාසීන් අල්ලාගෙන ඔහුගේ රුව වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමටද කටයුතු කර තිබේ.
මෙම වීඩියෝව ගැන දැනගත් කිළිනොච්චිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ පසුගිය 02 වැනිදා බවයි.
කිළිනොච්චියේ පදිංචි කාන්තාවක් සමඟ මෙම නිලධාරියා අනියම් සම්බන්ධයක් පවත්වන බව අනාවරණය වී ඇත්තේද එහිදීය.
එම කාන්තාව සමඟ පසුගිය 02 වැනිදා යතුරුපැදියකින් මෙම නිලධාරියා අරවියර් නගර් හී කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති බව මෙන්ම එහිදී ඇයට කරන ලද ලිංගික යෝජනාවකට ඇය අකැමැති වී ඇති බව ද අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් නිලධාරියා ඇය සමඟ උරණව ඇති බව මෙන්ම ඇයව යතුරුපැදියේ නංවා නිවෙසට ඇරලවා ඇති බවද අනාවරණය වී ඇත.
නැවතත් එදින රාත්‍රී කාලයේ මෙම නිලධාරියා බීමතින් ඇගේ නිවෙසට ගොස් සිටියදී ප්‍රදේශවාසීන් ඔහුව අල්ලා වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත එය මුදාහැර ඇතැයි ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා කාන්තාවට ඔහු රුපියල් 20,000ක මුදලක් ද ලබාදී ඇති බවද සඳහන්ය. මෙම කරුණු හෙළිවීමෙන් අනතුරුව කිළිනොච්චිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානී විසින් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පෙරේදා (09) පියවර ගෙන තිබේ.