යමක් කර නිම වන තුරු එය ඔබට පෙනෙන්නේ කළ නොහැක්කක් ලෙසය, එබැවින් අරඹන්න.
– නෙල්සන් මැන්ඩෙලා
ෆයිබර් හදන අලුත් ක්‍රමය

ෆයිබර් නිෂ්පාදන
“සිරිලක දේ සිරි සැප දේ” යන කියමනට පණ දෙමින් කෙසෙල් කඳින් කෙඳි වෙන් කරන යන්ත්‍රයක් නිෂ්පාදනය කර දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගත් නව නිපැයුම්කරුවෙකු පිළිබඳවයි මේ කතාව. ඔහු නමින් සංජීව මෙන්ඩිස් ය. කුරුණෑගල මලියදේව පාසලෙන් අධ්‍යාපනය ලද ඔහු තම උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව ආයතන කිහිපයකම අලෙවි කළමනාකරුවෙකු ලෙස සේවය කළේය. නමුත් සංජීව මෙන්ඩිස් මහතාගේ ජීවිතය උඩුයටිකුරු වන්නේ 2020 වසරේ දී ය. කොරෝනා වසංගතය සමයේ සංජීව මෙන්ඩිස් මහතාට නිවසේ ගත කිරීමට සිදු වූ කාලය ඉතා ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීමට සිතුවේය. ඒ පිළිබඳව ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“2020 කොරෝනා වසංගත කාලයේ මම ඉවත දමන අපද්‍රව්‍යවලින් අලුතින් නිර්මාණය කරන්න පුළුවන් නව නිපැයුම් මොනවද කියලා අධ්‍යයනයක් සිදුකළා. ඊට පස්සේ මගේ අදහස කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. කෙසෙල් කඳින් කෙඳි, එහෙමත් නැත්නම් කෙසෙල් ෆයිබර් ගන්න පුළුවන් යන්ත්‍රයක් හැදීමේ ව්‍යාපෘතියක් තමයි මම ඉදිරිපත් කළේ. මේ යන්ත්‍රය නිපදවන්න මූලික අඩිතාලම වැටුණේ ඒ විදිහටයි.”
“අපේ රටේ හතර වන ආර්ථික භෝගය වන්නේ කෙසෙල්. කෙසෙල් අස්වැන්න ලබා ගත්තට පස්සේ ලංකාවේ කරන්නේ, කෙසෙල් කඳ හා අතු පරිසරයට මුදාහැරීම, නැත්නම් ගිනි තැබීම. මේ දෙයින් පරිසරයට හානියක් සිදුවෙනවා. ඒ වගේම කෙසෙල් කඳන් ඉවත් කරන්නත් ගොවීන්ට අමතර වියදමක් දරන්නට සිදුවෙනවා. මේ දේවල් ගැන හිතලා තමයි මම කෙසෙල් කඳන්වලින් ෆයිබර් ගන්න පුළුවන් යන්ත්‍රය නිර්මාණය කළේ. මගේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ආයතනය තියෙන්නේ කිඹුලාවල හන්දියේ තලවතුගොඩ. තමන්ගේම සන්නාමයෙන් ලියාපදිංචි කරලා මම යන්ත්‍ර අලෙවි කරනවා. නමුත් තවමත් පේටන්ට් බලපත්‍රයවත් අරන් නැහැ. මට පොදු අරමුණක් තිබෙන්නේ.”
“දියුණු රටවල් ගත්තොත්, නිදර්ශනයක් වශයෙන් ජපානයේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදුවෙන්නේ කෙසෙල් ෆයිබර්වලින්. ඒ වගේම කෙසෙල් තන්තු සනීපාරක්ෂක තුවා හදන්නත් උපයෝගි කරගන්නවා.”
ඉවතලන කෙසෙල් කඳට වටිනාකමක් එක් කරමින් සංජීව මෙන්ඩිස් මහතා නිර්මාණය කළ යන්ත්‍රයෙන් කෙඳි ලබා ගැනීමෙන් පසුව නිමවෙන නිර්මාණ බොහෝමයකි. ඒ පිළිබඳව ද සංජීව මෙන්ඩිස් මහතා මෙසේ සඳහන් කළේය.
“මේ යන්ත්‍රයෙන් ගන්න කෙසෙල් ෆයිබර් යොදාගෙන කරන නිෂ්පාදන කටයුතු නිසා බොහෝ රැකියා අවස්ථා උදාවෙලා තිබෙනවා. පැදුරු, ලණු, හෑන්ඩ් මේඩ් නිර්මාණ, හෑන්ඩ්ලූම් නිර්මාණ හා විසිතුරු අත්කම් නිර්මාණ කරලා දේශීය විදේශීය සංචාරකයින්ට මෙන්ම එම නිර්මාණ අපනයනය කරන්නත් පෙලඹිලා තිබෙනවා. ලංකාවේ කොන්ක්‍රීට් ශක්තිමත් කරන්න ගන්නේ සින්තටික්. සින්තටික් කියන්නේ පොලි එලිතීන් වගේ ප්ලාස්ටික් කෙඳි වර්ගයක්. ඒවා පරිසර හිතකාමි එකක් නෙවෙයි. ඒ නිසා පරිසර හිතකාමි කොන්ක්‍රීට් ශක්තිමත් කරන්න කෙසෙල් ෆයිබර් උපයෝගි කර ගන්නවා. නමුත් මෙය ලංකාවේ තවමත් පාවිච්චි කරන්නේ නැති තරම්. තවත් දෙයක් කිව යුතුයි, කෙසෙල් ෆයිබර් පමණක් නෙවෙයි අන්නාසි, හණ වගේ ශාකවලත් ෆයිබර් මේ යන්ත්‍රයෙන් ගන්න පුළුවන්.”
සංජීව මෙන්ඩිස් මහතා තමා නිපද වූ යන්ත්‍රය තවත් දියුණු තත්ත්වයට පත් කර ඇති අතර, ඒ නිසා කෘෂිකාර්මික කටයුතුවලට ද යොදා ගත හැකිය.
“කෙසෙල් කඳන්වලින් කෙඳි ලබා ගැනීමෙන් පසුව ඉවත් කරන ද්‍රව්‍ය සියයට අසූවක් පමණ ඒ ද්‍රව්‍ය භාවිත කරලා කොම්පොස්ට් එකක් හදන්න දියුණු කළා. ඒකෙන් හොඳ කාබනික දියර පොහොරක් හදන්න පුළුවන්. දියර පොෙහාර හැදීමෙන් පසුව බැහැර කරන ද්‍රව්‍යවලින් ඝන පොහොර වර්ගයක් හදන්නත් පුළුවන් මේ යන්ත්‍රයෙන්. ඒ අනුව මේ යන්ත්‍රයෙන් දිනකට කෙසෙල් කෙඳි කිලෝ 12ක් ද, කාබනික දියර පොහොර ලීටර් 100ක් හා කොම්පෝස්ට් හෝ සත්ත්ව ආහාර කිලෝ 250ක් පමණ ලබා ගන්න පුළුවන්.”
කෙසෙල් වගාවට ප්‍රසිද්ධ ඇඹිලිපිටිය, සූරියවැව, තනමල්විල, අනුරාධපුර, ගල්නෑව, රාජාංගණය, මහව සහ අම්පාර වැනි ප්‍රදේශවල ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු ද සංජීව මෙන්ඩිස් මහතා විසින් සිදු කරයි.
“කෙසෙල් වගාව බොහෝ වශයෙන් සිදුකරන ප්‍රදේශවලට ගිහින් එම ගොවියන් දැනුම්වත් කරලා කෙසෙල් ෆයිබර්වලින් ලබා ගන්න පුළුවන් අමතර ආදායම් මාර්ග පිළිබඳවත් මම වැඩමුළු පවත්වනවා. ඒ ගොවියන්ට මේ සම්බන්ධව උනන්දුවක් තිබුණට ඔවුන්ට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන මැදිහත් වෙලා ආධාර පහසුකම් ලබා දුන්නොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වගේම රටේ ආර්ථිකයටත් රුකුලක් වේවි.”
මෙම යන්ත්‍රයට අමතරව සංජීව මෙන්ඩිස් මහතා තවත් යන්ත්‍ර කිහිපයක්ම නිපදවා ඇත. ඒ අනුව මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා වන ස්වයංක්‍රිය මැටි භාණ්ඩ නිෂ්පාදන යන්ත්‍රය, සත්ත්ව ආහාර නිෂ්පාදන යන්ත්‍රය, මැටි ගඩොල් නිපදවීමේ යන්ත්‍රය සහ පුවක් කොළපත්වලින් කොළපත් පිඟන්, කෝප්ප ඇතුළු නිෂ්පාදන යන්ත්‍රය ඒ අතර ප්‍රධාන වේ.
“මේ දවස්වල පුවක් ලෙලි ගසන යන්ත්‍රයක් හදන්න සැලසුම් සකස් කරගෙන යනවා. මම නිපදවන යන්ත්‍ර සම්බන්ධයෙන් විදේශ රටවලිනුත් මේ වෙන විට ඉල්ලුමක් තිබෙනවා. ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ යන්ත්‍ර මිලට සාපේක්ෂව මම නිපදවන යන්ත්‍රයේ මිල අඩුයි. මේ නිසා ඉන්දියාව, ටැන්සානියාව වගේ රටවලට අපනයනය කරන්න පුළුවන් තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරමින් යනවා.”
“මේ යන්ත්‍රය සම්බන්ධයෙන් මම පේටන්ට් බලපත්‍රයවත් ඉල්ලලා නැහැ. කැමැති කෙනෙකුට මේ තාක්ෂණය ලබා දෙන්න මම සූදානම්. අපේ රටෙන් සිදුකරන අපනයනවලට නිර්මාණශීලි විවිධාංගීකරණයක් මඟින් විදේශ රටවල ඉල්ලුම වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම රටේ අපනයන ආදායම වර්ධනය කර ගන්නටත් පුළුවන්.”
එම්. තාරික්
දේශීය ඉංජිනේරු දැනුමෙන් පරිසරය රකින්න අලුත් වැඩක්
ලාංකීය ජනතාවගේ පෝෂණ අවශ්‍යතා ඉලක්ක කරගත් නිෂ්පාදන මාලාවක පුරෝගාමියා ලෙස නෙස්ලේ ලංකා ආයතනය හැඳින්විය හැකිය. ලෝක ප්‍රකට නෙස්ලේ සමූහයට අයත් මෙම සමාගම, වසර 118කට වැඩි කාලයක් පුරා නෙස්ටමෝල්ට්, මයිලෝ, මැගි, නෙස්කැෆේ වැනි ජනප්‍රිය සන්නාමයන්ගෙන් ගුණාත්මක නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ලබාදේ. 1984 දී නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්ත ශාලාව ආරම්භ කළ අතර, එහි 40 වන සංවත්සරය පසුගියදා සැමරුණි. ශ්‍රී ලංකාවේ අලෙවි වන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් මෙම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කෙරේ. සංවත්සරය සමරමින් සමාගම රුපියල් බිලියන 1.1ක වියදමින් නව ජෛව ස්කන්ධ බෝයිලේරු ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නැංවිය.
2024 වර්ෂයේ ජූලි මස දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ දැනුම ද භාවිත කර තිබේ. පරිසරය රැකගනිමින් කාබන් විමෝචනය 2050 වන විට නිෂ්පාදන දාමය පුරා අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙමඟින් අද වන විට ක්‍රියාත්මක වන වාෂ්ප බෝයිලේරු තුළින් නිපදවන කාබන් විමෝචනය 90%කින් අඩු කිරීමට හැකිවනු ඇතැයි නෙස්ලේ ලංකා ආයතනය අපේක්ෂා කරයි. නෙස්ලේ ලංකා කර්මාන්තශාලාවන් තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී 60%ක් පමණ තාපය භාවිත කරයි. ආහාර පිසීම, නිෂ්පාදනයේ ඇති ජලය ඉවත් කිරීම ආදී ක්‍රියාවලි සඳහා මෙලෙස තාපය භාවිත කිරීම සිදුකරයි. මෙහිදී වාෂ්ප උත්පාදන ක්‍රියාවලිය තුළින් වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එක් වීම සිදු වේ. ඒ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ජෛව ස්කන්ධ බොයිලේරු භාවිතය මඟින් වසරකට කාබන් ටොන් 12000ක් පමණ අවම කර ගැනීමට අවස්ථාව සැලසේ. තවද දේශීය වශයෙන් යොදාගත හැකි ජෛව ස්කන්ධ සඳහා අවස්ථාවක් නිර්මාණය කරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් විදේශීය තෙල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයද අඩු කිරීමට අවකාශ ලැබේ.
මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටියේ “අපි පසුගිය කාලයේ රටේත්, ලෝකයේත් ආර්ථික අර්බුදයත් එක්ක තමයි කටයුතු කළේ. කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ මෙවැනි ආයෝජනයක් කරන එක ව්‍යාපාරික තීරණයක් විදිහට අසීරු දෙයක්. රුපියල් බිලියනයකට වැඩි ආයෝජනයක් කරලා තමන්ගේම ව්‍යාපාරයක් දියුණු කරගන්න විකල්ප අවස්ථා තියෙද්දී තමයි නෙස්ලේ ලංකා ආයතනය මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ. අපි විශ්වාස කරනවා මෙය ආයතනය වෙනුවෙන් පමණක් නෙමෙයි සමස්ත රටේ සංවර්ධනය වෙනුවෙන් ගත්ත තීරණයක් කියලා. රටට විදේශ ආයෝජන අවශ්‍යයි. අපි අද කල්පනා කරමින් ඉන්නවා මේ රටේ අපනයන ආර්ථික ආදායම දියුණු කරන්න. අපනයන ආදායම දියුණු කරන්න නම් අපේ රටේ දැවැන්ත කර්මාන්ත ව්‍යවසාය උන්මාදයක් ඇති කරන්න ඕන. ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා සබඳතාවයේ ප්‍රමුඛතාවක් වන නවෝත්පාදන හා තිරසරත්වය වෙනුවෙන් නෙස්ලේ සිදුකළ මෙම සුවිශේෂී ආයෝජනය පිළිබඳ ඉතාමත් සතුටුයි” යනුවෙනි.
මෙම නවීන ජෛව ස්කන්ධ බෝයිලේරු ව්‍යාපෘතිය නෙස්ලේ ලංකා ආයතනයේ හරිත ප්‍රතිපත්තිවලට අනුකූලව පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා තබන ලද සුවිශේෂී පියවරක් ලෙස සැලකිය හැකිය. ලෝක මට්ටමින් කාබන් විමෝචනය අවම කිරීමේ ගෝලීය ප්රයත්නයට සහාය දක්වමින් සිදු කෙරෙන මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා ද කදිම නිදසුනකි.
මේ අයුරින් නෙස්ලේ ලංකා ආයතනය පරිසර හිතකාමී තාක්ෂණය හා දේශීය දැනුම ඒකාබද්ධ කරමින් හරිත නිෂ්පාදන ක්‍රමවේදයන් වෙත ගමන් කිරීම, රටට මෙන්ම සමස්ත ලෝකයටම ආදර්ශයකි. ගෝලීය සන්නාමයක් වුවද, දේශීය අවශ්‍යතා සහ පරිසරය පිළිබඳව සැලකිලිමත් වන නෙස්ලේ ලංකා ආයතනයේ මෙම වැඩපිළිවෙළ මෙරට අනෙකුත් කර්මාන්තශාලා සඳහා ද මඟපෙන්වීමක් වනු ඇත.
ඉන්දීවරී පෙරේරා
උතුරට කර්මාන්ත නවෝදයක් කර්මාන්ත, ධීවර සහ මුදල් අමාත්‍යාංශවලින් නව වැඩපිළිවෙළක්

නැවත ඇරඹීමට නියමිත සිමෙන්ති කම්හල
මෙරට ආර්ථික සංවර්ධනය සඳහා අඩු දායකත්වයක් සැපයූ එහෙත් විශාල ලෙස දායක කර ගත හැකි උතුරු පළාත කරා සංවර්ධනය ගෙනයෑම අරමුණු කරගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රියව පැවති රජය සතු ආයතන කිහිපයක් නැවත සක්‍රිය කිරීම සහ තවදුරටත් නව සැලැස්මක් අනුව යෝජිත නව කර්මාන්තපුරයන් වෙනුවන් අවශ්‍ය සැලසුම් කිරීමේ කටයුතු මෙන්ම දැනට පවතින ගැටලු සොයාබලා විධිමත් සහ කාර්යක්ෂම ලෙස අවශ්‍ය පියවර ගැනීම සඳහා කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ඇමැතිවරු පිරිසක් උතුරේ සංචාරයක නිරත වුණි. කන්කසන්තුරය කර්මාන්තපුරය, දැනට අක්‍රියව ඇති සිමෙන්ති කර්මාන්ත ශාලාව ඇතුළු ව්‍යාපෘති රැසක් එහිදී අමාත්‍යවරු නිරීක්ෂණය කළහ.
නුදුරේදීම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීම, ද සිදු කෙරුණි. කර්මාන්තපුරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත කන්කසන්තුරේ ප්‍රදේශයේ මාන්කුලම් සහ පරන්තන් කෙමිකල් ආයෝජන කර්මාන්ත නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා සිදු කිරීමටත් නිලධාරින් සමඟ එම ස්ථානයන් නිරීක්ෂණය කිරීමට එක්විය. මෙහිදී ඉදිරි කටයුතු සහ පවතින ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.
අක්‍රියව විනාශ වී පැවති ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවද පසුගියදා නැවත සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලැබීය.
මෙම නව ව්‍යාපෘති මඟින් උතුරේ නව රැකියා අවස්ථා රාශියක් ලබා දීමට සැලසුම් කර තිබේ.
රටේ සමස්ත ජනතාවම ශ්‍රී ලාංකිකයන් ලෙසින් ජාති ආගම් භේදයකින් තොරව රටේ ආර්ථිකය සඳහා දායක කරගැනීම රජයේ අරමුණ බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරේ සිදුකළ මෙම නිරීක්ෂණ සංචාරය සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමැති
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහත්වරු ඇතුළු උතුරු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නිලධාරින් රැසක් සහභාගී විය.
උදිත ගුණවර්ධන
ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාතික උපදේශක කමිටුව වැඩ අරඹයි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සම සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහිටුවන ලද ජාතික උපදේශක කමිටුව පසුගියදා පළමුවරට රැස්වුණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ඒකාබද්ධව එය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා උපායමාර්ග සැකසීම සම්බන්ධ ජාතික මට්ටමේ විද්වත් මණ්ඩලයක් (Think Tank) ලෙස කටයුතු කිරීමයි. ඉන් පරිබාහිරව ගත් කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනයට සම්බන්ධ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්බන්ධීකරණ ප්රයත්නයන් සහතික කරමින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා උපායමාර්ගිකව මඟපෙන්වීම මෙහි අරමුණ වේ.
මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වන ජාතික උපදේශක කමිටුවේ ප්‍රධාන අරමුණු කිහිපයක්ම එදින සඳහන් කර තිබිණි. ඒ අතුරින්
රජයේ සංවර්ධන න්‍යාය පත්‍රයට සහ වර්තමාන සංවර්ධන ප්රවණතාවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුව සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම, අන්තර්-අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ජාතික සැලැස්ම සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම සහ අධීක්ෂණය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ප්‍රධාන මූල්‍ය අභියෝග විසඳීම සඳහා නිර්දේශ සැපයීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ඇතිවන අවදානම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහායක පරිසරයක් ගොඩනැඟීම, තාක්ෂණ හුවමාරුව පහසු කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග විසඳීම මෙන්ම ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍යකරණ රාමුවක් ස්ථාපිත කිරීම දැක්විය හැකිය.
මෙම කමිටුව පැවැත්වෙන අතරතුරදී ජාතික උපදේශක කමිටුව වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සම සභාපතිත්වයට අමතරව කමිටුව වෙනුවෙන් තවත් සාමාජිකයන් 16 දෙනෙකු පත්කරනු ලැබීය.
රජිත බස්නායක