(2025 ජාතික අය-වැය ලේඛනය ඇසුරෙන් මෙම ලිපිය සැකැසුණි)
මේ වසර වන විට අවුරුදු දහයකට ආසන්න කාලයක් ගත වී ඇතත් රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුවී නොමැති බව නොරහසකි. මෙම නිසා මෙවර අය වැයෙන් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමට කාලය පැමිණ තිබෙන බව වැටුප් ව්‍යුහ සංශෝධනය කිරීමට මුල පුරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස ඉකුත් 17 වෙනිදා මෙරට 79 වෙනි අය වැය ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස කියූ පරිදි රාජ්‍ය අංශයේ සේවකයින්ගේ උසස් ජීවන තත්ත්වයක් ඇති කිරීම සඳහා අය – වැයට කොපමණ බරක් වුවත්, මෙරට දක්ෂ සහ පුහුණු ශ්‍රමිකයින් රාජ්‍ය අංශයට එකතු කර ගැනීම සඳහාත් වැටුප් වැඩි කිරීමට යෝජනා කළේය.
ජාතික ජන බලවේග රජයේ මංගල අය – වැය දෙස මිලියන විසිදෙකක් වූ ජනතාව බලාපොරොත්තු දල්වා බලා සිටියහ. ඒ අතර ඉන් ලක්ෂ දාහතරකට ආසන්න රාජ්‍ය සේවකයෝ මුලින්ම සිටි බව සඳහන් කළ යුතුය. එලෙස සිටි පිරිසගේ සත්‍ය වශයෙන්ම අය – වැයෙන් වැටුප් වැඩිවීමක් සිදුවී තිබේ දැයි විමසා බලමු.
වැටුප් වැඩිවීම
රාජ්‍ය සේවයේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට අය – වැයෙන් යෝජනා කොට ඇත. එහිදි දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන ලදී. ඒ අතර රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට සිදු කිරීමට මුදල් ඇමැතිවරයා යෝජනා කළේය.
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේද මෙලෙස වැටුප් වැඩිවීමට යෝජනා විණි.
මෙහිදි සිදුවූ විශේෂ දෙයක් වනුයේ පෙර කී පරිදි අවම මාසික වැටුප රුපියල් 15,750ක වැඩිවීමට අමතරව 80%ක වටිනාකමකින් වාර්ෂික වැටුප් වර්ධක ඉහළ යාමය. ඒ අනුව රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළට ඔසවා ඇත. මේ ආකාරයට රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුප් වර්ධක ඉහළට ගැළපීමටද යෝජනා කළේය.
යෝජිත වැටුප් වැඩිවීම
මේ සියලු වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325ක් වේ. මේ සා විශාල මුදලක් එකවර වැටුප් වැඩි කිරීමට වියදම් කිරීමට රජයට මේ මොහොතේ හැකියාවක් නැත. එම නිසා මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට තිබේ.
මූලික ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් සිට රාජ්‍ය සේවකයින්ට ලැබෙනු ඇත. ඉතිරි 70% රාජ්‍ය සේවකයින්ට හිමි වනුයේ 2026 සහ 2027 ජනවාරි මාසවල සිටය. ඒ නිසා මේ වසරේ යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කිරීමට ජනපතිවරයා වග බලා ගත්තේය.
රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිවීම නිසාම ඔවුන්ට තවත් වාසියක්ද සිදුවේ. එනම් ඔවුන්ගේ ආපදා ණය සීමාව රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා වැඩි වී තිබීමයි. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමානව පෞද්ගලික අංශයේ සේවකයින් ද අමතක නොකිරීමට රජය පියවර ගෙන ඇත. එනම් දැනට රුපියල් 21,000ක මට්ටමේ තිබෙන පෞද්ගලික අංශයේ අවම සේවක මාසික වැටුප රුපියල් 27,000 දක්වාත් සහ වසර 2026දී රුපියල් 30,000 දක්වා ද ඉහළ නැංවීමට සේවා යෝජකයින්ගේ සංගමය එකඟතාවය පළ කොට ඇත.
වතු අංශයේ සේවකයින්ගේ දිනක වැටුප රුපියල් 1700ක ප්‍රමාණයක් ලබාදීමට රජය පියවර ගෙන ඇත. මෙරට විශ්‍රාමිකයන්ගේ වැටුප්වලද විෂමතා ගොන්නක් ඇත. වසර 2017 දෙසැම්බර් 31 දිනෙන් විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයින් එකම වැටුප් පරිමාවක සිටිති. වසර 2016 – 2020 විශ්‍රාම ගිය සේවකයින්ගේ වැටුප් පමණක් සංශෝධනය කොට තිබීම තුළ වැටුප් විෂමතාවයක් මතු වී ඇත. මෙම දිගු කාලීන ගැටලුව විසඳීමට රජය මෙවර අය – වැයෙන් අත තබා තිබේ. ඒ අනුව 2020 ජනවාරි 01දාට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් 2020 වසරට අදාළව වැටුප් පරිමාවට අනුව අදියර තුනකින් සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇත. 2018 ජනවාරි 01 වෙනිදා සිට විශ්‍රාමිකයින්ගේ වැටුප් ද තුන්වන අදියරේ වැටුප් පරිමාණයන්ට අනුව සංශෝධනය කරනු ඇත. මෙම සියලුම විශ්‍රාම වැටුප් සංශෝධන ක්‍රියාත්මක කිරීමට මේ වසරේදී රුපියල් මිලියන 10,000ක් වෙන් කොට ඇත. අනෙකුත් සිවුවන සහ පස්වෙනි අදියරවල විශ්‍රාම වැටුප් පරිවර්තනයන් වසර 2026 සහ 2027 ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
මාසික වැටුප වැඩිවන අයුරු
රාජ්‍ය අංශයේ පෙර කී වැටුප්, විශ්‍රාම වැටුප් වැඩි කිරීම් සම්බන්ධව කටයුතු සැබෑ ලෙසම සිදු වේ දැයි අප දැන් විමසා බලමු.
රාජ්‍ය අංශය තුළ විවිධ වැටුප් තල ගණනාවක් පවතී. රාජ්‍ය අංශය අංශ අටකින් යුක්තය.
ඒවා නම්, රාජ්‍ය අංශය, යුද, නාවික, ගුවන්, පොලිස් ඇතුළු ආරක්ෂක අංශය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය, රාජ්‍ය ව්‍යවස්ථාපිත ව්‍යවසායන්, අධිකරණ සේවය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වේ.
අප මෙහිදී රාජ්‍ය අංශයේ අවම මාසික වැටුප වැඩිවන ආකාරය බලමු. දැනට PL1-2025 අවම රාජ්‍ය සේවක වැටුප් ලබන්නෙකුගේ පළමුවෙනි වැටුප් වර්ධකය රුපියල් 250කි. එය මේ වසරේ රුපියල් 450 දක්වා වැඩිවේ.
ක්‍රමානුකූලව මෙම වැටුප් වර්ධක වැඩිවීම වසර දහයෙන් දහය සිදුව හතරවන අදියරේදී රුපියල් 590ක් දක්වා එය ඉහළ යයි. එහිදී ඔහුගේ උපරිම වැටුප් වැඩිවීම රුපියල් 61,880ක් වනු ඇත.
මේ ආකාරයට රාජ්‍ය සේවයේ PL-3, MN-1,2,3,4,5,6,7 ලෙස කළමනාකරණ සහයකවරුන්ගේ සිට කළමනාකරණ සහයක සුප්රා මට්ටමට වැටුප් තළ ඉහළ යන ලෙස අය – වැයෙන් වැටුප් ඉහළ දමා ඇත. මෙහිදී රුපියල් 800ක වැටුප් වර්ධකය අදියර හතරකදී රුපියල් 1,350 දක්වා ද රුපියල් 1,360ක වැටුප් වර්ධකය 1,850 දක්වා ඉහළ ගොස් සමහර ශ්‍රේණිවල වැටුප රුපියල් 119,500 දක්වා උපරිමයක් ලෙස වැඩිවනු ඇත.
රාජ්‍ය සේවයේ වැටුප්
MA තාක්ෂණික සේවා 3, 2, 1 යනාදී ලෙස MT-1,2,3,4,5,6,7,8 ලෙස අදියර හයකදී සමහර රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 134,520ක් දක්වා ඉහළ යනු ඇත. හෙද සේවයේ MT-7 හෙදියකගේ වැටුප රුපියල් 54,920 සිට 102,710ක් දක්වා ඉහළ යන ආකාරයට ගණන් බලා තිබේ.
වෛද්‍ය නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේ වැටුප රුපියල් 156,000 සිට 214,200 දක්වා ඉහළ යන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුප SL-4, 2025 යටතේ රුපියල් 175,000 සිට 238,600 දක්වා වැඩිවනු ඇත. ඔවුන්ගේ එක වැටුප් වර්ධකයක අගය රුපියල් 5,300කි.
රාජ්‍ය සේවය යටතේ ශ්‍රී ලංකා ගුරු සේවය, විදුහල්පති සේවය, තැපැල් සේවය, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය, ග්‍රාම නිලධාරී සේවය, දුම්රිය සේවය සහ තවත් සේවා අංශ රැසක වැටුප් වැඩිවීම්ද ඉහළ දමා ඇත.
ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රුපියල් 50,630 සිට 84,960 දක්වා ඉහළ යන අතර දුම්රිය සේවයේ වැටුප් වැඩිවීම රුපියල් 57,810 සිට රුපියල් 93,810 දක්වා ඉහළ යනු ඇත.
ආරක්ෂක අංශවලද වැටුප් බෙහෙවින් ඉහළ යන අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවල ද වැටුප් වැඩිවනු ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප් වර්ධක මෙන්ම සමස්ත වැටුපද ඉහළ යාම සිදු වේ.
රජය සතු ව්‍යවසායන්ගේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉහළ නංවා ගන්නා අතර ඔවුන්ගේ වැටුප් වර්ධක සහ වැටුප් ද වැඩි කර ඇත.
අප මුලින් සඳහන් කළ පරිදි අධිකරණ සේවයේ වැටුප් වැඩිවීමේදී අග විනිසුරුවරයාගේ වැටුප වර්ධක සමඟ රුපියල් 266,000 සිට රුපියල් 333,500 දක්වා උපරිම ලෙස වැඩි වන ආකාරයට ඉහළ යනු ඇත.
වැටුප් වර්ධක
ඔහුගේ වැටුප් වර්ධකයේ වටිනාකම රුපියල් 13,500කි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් ඉහළ යන අතර සමහරුන්ගේ වර්ධක රුපියල් 5,300 මට්ටමේ පවතී.
විවිධ වැටුප් තළ යටතේ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම නිසි ලෙස ගණන් බලා සවිස්තරාත්මකව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. මෙලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් සිදුවන්නේ කෙලෙස දැයි සැක හැර දැන ගැනීම සඳහා බොහෝ පිරිස් දැඩි උනන්දුවකින් බලා සිටිති.
රටක රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පමණක් කිරීම තුළ පෞද්ගලික හා කිසිදු සේවාවක් සිදු නොකරන පිරිස් අමාරුවේ වැටීමක් සිදුවන බව වෙළෙඳපොළ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේදී දැකිය හැකිය. මෙලෙස එක් අංශයක් සතුටට පත් කොට සෙසු අංශ අසතුටෙන් තබා ගැනිම ප්‍රඥා ගෝචර නොවන ක්‍රියාවකි. ඒ නිසා සියලු රට වැසියන් සතුටු කරන ආකාරයේ වැටුප් ක්‍රමවේදයක් සහ ප්රතිලාභයන් විහිදුවාලන වැඩපිළිවෙළක් මේ මොහොතේ රට ඉල්ලා සිටින බව ඉතා ඕනෑකමින් අපි අවධාරණය කරමු.
ජයසිරි මුණසිංහ