‘අපි අවුරුදු ගණනාවක් තිස්සේ වී වේළගන්නෙ මේ මහපාරෙ, නැත්නම් අතුරු පාරවල්වල දාගෙන. ඒත් දැන් ඒකටත් කණකොකා හඬනවා. පොලීසිය දැන් මේ වැඩට හරස් වෙනවා. වී වේළීම නිසා අනතුරු කිහිපයක්ම සිදුවීම තමයි ඒකට හේතුව. ගොයම් කැපුවට පස්සෙ අපිට තියෙන ලොකුම ගැටලුව වී වේළගන්න එක තමයි. හරියට දවස් දෙකක්වත් වේළෙන්න ඕන. වී හොඳට වේළුණේ නැත්නම් ගබඩාවට ගන්නෙත් නෑ.’
මෙලෙස පවසන්නේ වෙන්ඩ්‍රාසන්පුර ජනපදයේ ගොවි මහතකු වන බී.එම්. ධනපාල මහතා. ‘මේ ගැටලුව මට විතරක් නෙවෙයි. ජනපදවල ගොවියෝ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මාගල්වල දාගෙන වේළන්න ගියාම පැයෙන් පැයට වී පෙරළන්න, අතගාන්න ඕන. වැඩි ප්‍රමාණයක් දාන්නත් බෑ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා හිටින්නේ අපේ සේවයත් රටට හරි වටිනවා. පහුගිය කාලේ අපේ බඩ අඩුකර ගන්න ඇවිදින මංතීරු හදන්න අප්‍රමාණ සල්ලි ප්‍රමාණයක් වියදම් කළා. ළමයින්ට සෙල්ලම් කරන්න උද්‍යාන හදලා ඒවයේ දැන් හරක් ළගිනවා. වැඩකට නැති වැඩ. අපි එහෙම දේවල් ඉල්ලුවෙත් නෑ. ඕනත් නෑ. අපි ගැනත් අපේ අවශ්‍යතා ගැනත් හිතලා එක ගමකට එක බැඟින්වත් ලොකු කමත් ටිකක් හදලා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ’ යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.