පාසල් සිසුන් පිරිසක් සිගරැට් පානය කිරීමෙන් ඉවතලන සිගරැට් කොට හේතුවෙන් හටගත් ගිනිගැනීමකින් ඇතුගල මුදුනේ තිබෙන රක්ෂිත වනයේ අක්කරයකට ආසන්න කොටසකට හානි සිදුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය සිකුරාදා (07 වැනිදා) පස්වරුවේදී එසේ හටගත් ගින්න පැතිරයෑමට ඉඩ නොදී වළක්වා ගැනීමට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සමත්වී ඇත.
කුරුණෑගල, ඇතාගල මුදුනට ඉපැරැණි ගල්පඩිපෙළ ඔස්සේ පිවිසීමට තිබෙන ස්ථානය ආශ්‍රිත කොටසක මෙම ගින්න හටගෙන තිබේ. ඇතුගලේ දැඩි බෑවුම් සහිතව පිහිටි එම ස්ථානයට පිවිසීම ඉතා අපහසු වන අතර ගිනි නිවීම් ඒකකයේ ජල බවුසර් ද රැගෙන යාමට නොහැකි වූ බැවින් ගිනි භටයන් දැඩි පරිශ්‍රමයකින් යොදා කොළඅතු යොදාගෙන මෙම ගින්න මැඩපවත්වා තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක ප්‍රකාශ කළේය.
පාසල් සිසුන් පිරිසක් එම කොටසට වී සිගරැට් පානය කරමින් සිටින අකාරයත් ඉන් පසුව ගින්නක් ඇතිවන ආකාරයත් ජනතාව දැක තිබෙන අතර සිගරැට් කොට දැමීමෙන් වියළී ගොස් තිබෙන ශාකවලට ගිනි ඇවිළී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. සිද්ධියෙන් බියට පත් සිසුන් පිරිස ඉන් අනතුරුව පලාගොස් ඇති බව ද වාර්තා විය.
මීට කලකට පෙර ද මෙම ස්ථානයේම පෙම් යුවළක් විසින් පෙම් ලිපියක් ගිනි තැබීමට යාමෙන් හටගත් ගින්නකින් ද ඉමහත් විනාශයක් සිදු විය.
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් 20කට ආසන්න සිද්ධීන් වාර්තා වී ඇති බව ද ඉන් බොහෝමයක්ම සිතාමතාම කළ ගිනි තැබීම් වන බවද ඔහු සඳහන් කළේය.
බහුලව සිදුවන මෙවැනි ගිනි තැබීම් වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් මුදල්, ගිනි නිවීම් ඒකක සහ ජලය නොමැති වීම හේතුවෙන් ගිනි තැබීමෙන් සිදු කෙරෙන හානි පිළිබඳව අවධානය යොමු කර ඒවා වැළැක්වීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.