මීගහකිවුල බලගොල්ල ප්රදේශයේ වහලයක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයකු පෙරේදා (8) දහවල් 12.00ට පමණ ඉන් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ මීගහකිවුල, බලගොල්ල, 18 කණුව පදිංචි ඩී.එම්. සුගතපාල නමැති 69 හැවිරිදි පුද්ගලයෙකි. උදේ වරුවේ වහලයේ වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා දහවල් තේ පානය සඳහා සෙසු පිරිස ද සමඟ වහලයෙන් බැස විටක් කෑමට ගෙන යළිත් වහලයට ගොඩ වී ඇති බවත්, පරාලයක් මත වාඩි වී වහලය අලුත්වැඩියාවේ නිරතවෙමින් සිටියදී එක්වරම බිමට ඇද වැටීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්රදේශවාසීන් තුවාලකරු වහාම මීගහකිවුල රෝහල කරා රැගෙන විත් ඇතත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය විමර්ශන සිදු කරයි.