ගල්බොක්ක, ගුලනහේන ප්‍රදේශයේ නිවෙසක අල්මාරියක එළකිරිවල දමා සඟවා තිබියදී සොයාගත් මැණික් ගල් 8 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ කැණSම් කිරීම සඳහා යොදා ගත් උපකරණ හා පූජා භාණ්ඩ ඌරුබොක්ක පොලීසිය මඟින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සැකකරුවන් තිදෙනා ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය.
මැණික් ගල් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යවා වාර්තාවක් ලබා ගැනීමට ද මෙහිදී නියෝග කෙරිණි. මීට අමතරව කැණීම් කළ ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකමක් තිබේද යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා පරීක්ෂා කර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියෝග කර තිබේ. ගල්බොක්ක, ගුලනහේන ප්‍රදේශයේ ඉඩමක පිහිටි නිවෙසක මිදුලේ පුරාවස්තු සොයා, පිරිසක් කැණීම් සිදු කරන බවට බුද්ධි අංශ නිලධාරීන්ට හා 119 පොලිස් හදිසි ඇමැතුම් දුරකතන අංකයට ඇමැතුම් 13ක් ලැබී තිබුණි. ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ නිවෙස සහිත මිදුලේ ස්ථාන දෙකක පොළොව හාරා කැණීම් සිදු කර තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇත. ඒ අනුව කැණීම් සිදු කර තිබෙන ස්ථානයේ පිහිටි නිවෙස පරීක්ෂා කිරීමේදී නිවෙස තුළ තිබූ අල්මාරියක කොටසක පහනක් දල්වා තිබෙනු දැක පරීක්ෂා කිරීමේදී පහන අසල කිරි සහිත පීරිසියක කෝප්පයක් තුළ තිබී මැණික් ගල් බවට සැකකරන ගල් 8ක් සොයා ගැනීමට පොලීසියට හැකිවිය. එම ගල් අතර සුදු පැහැයට හුරු කුඩා බිත්තරයක හැඩය තිබූ ගලක් සහ කළු පැහැයට හුරු කුඩා ගල් 7ක් සමඟ ගල් අටක් තිබුණි. කිරිවල දමා තිබියදී සොයාගත් එම ගල් කිරා බැලීමේදී සුදු පැහැති රවුම් ගල කැරට් 18ක බරක් සහ කළු පැහැති කුඩා ගල් 7 කැරට් 17.895ක බරකින් යුක්ත විය.