තංගල්ල, මැඩිල්ල පාලම අසලදී ස්විට්සර්ලන්ත ජාතික 28 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කිරීමට තැත්කළ සැකකරුවකු ඉකුත්දා (7) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ, පෙබරවාරි 11 වැනි දින මෙරට සංචාරයකට පැමිණ මැඩිල්ල ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි ස්විට්සර්ලන්ත ජාතික තරුණිය ඉකුත් 6 වැනිදා රාත්‍රී 8.30ට පමණ ආහාරය ගැනීමට අසල අවන්හලකට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ මැඩිල්ල පාලම අසල රැඳී සිටි සැකකරු ඇයට ලිංගික අතවර කිරීමට තැත් කර ඇති බවයි. විදෙස් තරුණිය සැකකරු පසු කරමින් යනවිට ඔහු එක්වරම ඇයගේ පසුපස ස්පර්ශ කර ඇති අතර, තරුණිය හැරී බලන විට ඇයගේ දෑතින් අල්ලා මුව සිප ගැනීමට ද තැත් කර තිබේ. සංචාරක තරුණිය සැකකරු තල්ලු කර උදව් ඉල්ලා කෑගසන විට ඔහු පලාගොස් තිබේ.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බෙලිඅත්ත, අගුල්මඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. සැකකරු පෙරේදා (8) තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.