මෙවර මාස් කන්නයේ අනුරාධපුරය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක හේන් ආශ්‍රිතව බඩඉරිඟු වගා කළ ගොවීහු සිය අස්වැන්නට නිසි මිලක් නොමැති බවට මැසිවිලි නඟති.
නිෂ්පාදන වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් විකිණුම් මිලක් නොමැති වීමෙන් ඔවුහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. ගල්කඩවල, කුරුක්කන්කුලම, දීප්තිගම, රළපනාව, ගල්පොත්තේගම ආදී ගම්මාන ගණනාවක ගොවීහු මෙසේ දුෂ්කරතාවට පත්ව ඇත. අස්වනු නෙළන අවධිය වන විට පෞද්ගලික වෙළෙන්දෝ සාමූහිකව ඉතා අවම මිලකට බඩඉරිඟු මිලදී ගැනීමට උත්සුක වන බවද ගොවීහු පවසති. ඔවුන් පවසන්නේ, අස්වනු නෙළාගත් සැණින් තෙත බරද සහිත බඩඉරිඟු බීජ කිලෝවක් රුපියල් 80ත් 90ත් අතර මිලකටත්, වියළන ලද බීජ කිලෝවක් රුපියල් 100ත් 120ත් අතර මිලකටත් වෙළෙන්දන් ඉල්ලා සිටින බවයි. එම මිල ගණන් සඳහා බඩඉරිඟු අස්වැන්න අලෙවි කිරීම මඟින් සිය වියදම් හෝ පියවා ගත නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මිනිස් පරිභෝජනයට සහ විශේෂයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සමඟ මෙරට බඩඉරිඟු වගාව ඍජුවම ඈඳී පවතී. ත්‍රිපෝෂ, සත්ත්ව ආහාර සහ වෙනත් අතුරු නිෂ්පාදන සඳහා මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ හතර ඉක්මවා පවතී. කුඹුරු සහ විශේෂයෙන් හේන් ආශ්‍රිතව කෙරෙන
දේශීය වගාවන්ගෙන් මෙට්‍රික් ටොන් දෙලක්ෂය ඉක්මවා නිෂ්පාදනයක් ජාතික අවශ්‍යතාව සඳහා එකතු කිරීමට මෙරට ගොවීහු සමත්ව සිටිති. එහෙත් මෙරට සමස්ත බඩඉරිඟු අවශ්‍යතාව සපුරනු සඳහා වාර්ෂිකව පිටරටින් ආනයනය කිරීමට තවමත් සිදුව තිබේ. එවැනි පසුබිමක තවමත් දේශීය බඩඉරිඟු
අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම පිළිබඳව නිරන්තරයෙන් මැසිවිලි නැඟීමට මෙරට ගොවීන්ට සිදුව තිබේ.
අනුරාධපුර, ගල්කඩවල ගම්මානයේ උපාලි නිශාන්ත තමන් මුහුණපා සිටින තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“ලොකු වියදමක්, මහන්සියක් දරන්න ඕන දැන් බඩඉරිඟු වගා කරන්න. ඉස්සර වගේ දැන් මේ වගාව කරන්න බෑ. දෙමුහුන් බීජවලට ලොකු වියදමක් යනවා.
බිම හාගන්න ඕනෑ. පොහොර දෙතුන් වතාවක් දාන්න ඕනෑ. මොකක් හරි පළිබෝධ හානියත් ආවොත් ඔක්කොම ඉවරයි. එතකොට තෙල් ගහලා ඉවරයක් නෑ. බඩඉරිඟු කඩාගන්ඩ ඕනෑ. ඊට පස්සේ මේවා සුනාමි කරලා ඇට බේරගන්න ඕනෑ. වේළන්න ඕනෑ. මේ හැමදේටම යන්නේ සල්ලි. වියදම කෙළවරක් නෑ.
මහන්සියත් එහෙම්මම තමයි. එහෙම තියෙද්දි අපෙන් තුට්ටු දෙකට අස්වැන්න ඉල්ලපුවහම ගොවිතැන් කිරිල්ලත් එපා වෙනවා.”
රළපනාව ගම්මානයේ බඩඉරිඟු වගාවේ නිරතව සිටින ජී. ඩබ්ලිව්. සමන්ලතා මහත්මිය මෙසේ පැවසුවාය.
“අඩුම ගාණේ කිලෝ එකකට රුපියල් 145ක්වත් නැතිව මේ අස්වැන්න විකුණලා වැඩක් නෑ. මෙතැන සිද්ධ වෙන්නේ අපෙන් හොඳට වේළපු බඩඉරිඟු ඇට
කිලෝ එකක් රුපියල් 110කට, 120කට විතර අරගෙන වෙළෙන්දෝ ගබඩා කරලා තියා ගන්නවා. ඊට පස්සේ ටික කාලයක් ගියහම කිලෝ එක රුපියල් 200ට විතර විකුණනවා. අවසානේ සිද්ධ වෙන්නේ හැම දුකක්ම විඳින අපේ මහන්සිය වෙළෙන්දෝ කට්ටියක් එකතු වෙලා හොරකං කරනවා වගේ වැඩක්.”
උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.එම්.බී.එන්. බුද්ධික මහතාගෙන් ගොවින්ගේ ගැටලු පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ, උපරිම වශයෙන් බඩඉරිඟු බීජ කිලෝවක් සඳහා රුපියල් 140ක් වැනි මිලක් ලැබීම ප්‍රමාණවත් බවයි. එහෙත් බොහෝ ගොවීන් සිය අස්වැන්න සඳහා රුපියල් 145ක් හෝ 147 ක් වැනි මිලක් ඉල්ලා සිටින බවත්, එවැනි මිලකට බඩඉරිඟු අස්වැන්න මිලදී ගතහොත් සත්ත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට එමඟින් අසාධාරණයක් සිදු වන බවත් ඒ මහතා පැවසුවේය. බඩඉරිඟු ගොවීන් සහ සත්ත්ව පාලනයේ යෙදෙන ගොවීන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කළ යුතු බැවින් රුපියල් 140ක් වැනි මිලක් බඩඉරිඟු කිලෝවකට ලැබීම ප්‍රමාණවත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.