ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 2025 වර්ෂයේදී මහාභාණ්ඩාගාරය මඟින් වෙන්වූ අරමුදලෙන් රුපියල් මිලියන 700ක මුදලක් පවතින ඇළ මාර්ග, වැව් තෙත්බිම් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමට වෙන්කර තිබේ.
මෙවර අය-වැයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 2700ක ප්‍රමාණයක් වෙන්කර මෙම මුදල් භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් වූ වාර්තාවක් පසුගියදා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට භාර දී ඇත.
පවතින ඇළ මාර්ග, වැව් තෙත් බිම් හා ඇවිදින මංතීරු නඩත්තු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම යටතේ කොළඹ අගනගර කලාපයේ සහ ඒ අවට සංස්ථාව භාරයේ පවතින ප්‍රධාන ඇළ මාර්ගහි කිලෝමීටර් 44ක ප්‍රමාණයක්, ද්විතීයික ඇළ මාර්ගයන්හි කිලෝ මීටර් 52ක ප්‍රමාණයක් සහ හැමිල්ටන් ඇළෙහි කිලෝමීටර් 22ක ප්‍රමාණයක් නඩත්තු කිරීමට නියමිතව ඇත.
දියත උයන, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල, මාලඹේ, බෙල්ලන්විල, නුගේගොඩ තෙත්බිම් උද්‍යානය බොරලැස්ගමුව, කෙළිමඬල ප්රදේශවලද වැව්, පොකුණු පොදු ස්ථාන සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීමට යෝජනා වී ඇත.
මෙම වැඩසටහන යටතේ ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම මඟින් ඇළ මාර්ගයන්හි වැසි ජල ප්‍රවාහය නිසි පරිදි සිදුවීම, හරිත පරිසරයක් නිර්මාණය වීම සහ තිරසරවීම, වැසි ජලය හේතුවෙන් ඇතිවන ජලගැලීම් හානි අවම පරිසරයක් ඇතිවීම, ඉහළ සමාජ සංවර්ධනයක් ඇතිවීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ආදිය අපේක්ෂා කෙරෙයි.
මෙවැනි සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක නොකළහොත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි ජලය හේතුවෙන් ඇතිවන ජලගැලීම් තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරු වන ප්‍රදේශ තුළ එම ජලගැලීම් ඇතිවීමේ අවදානම වර්ධනය වේ. බස්නාහිර පළාතේ පිහිටි ප්‍රධාන ඇළ මාර්ග පද්ධතිය නඩත්තු නොවීම හේතුවෙන් පරිසර දූෂණය, වසංගත සහ බෝවන රෝග පැතිරීම වැඩිවීම, පරිසර අලංකරණය නැති වීම, යටිතල පහසුකම් සඳහා වන වියදම වැඩිවීම හා පරිසර පද්ධතිවලට හානි සිදුවීම, අනවසර ආක්‍රමණිකයන් විසින් තෙත්බිම් ගොඩකිරීම් හේතුවෙන් එම තෙත්බිම් විනාශ වීම ආදිය සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.