සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවය මෙවර මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ උත්සවයේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාල විහාරවාසී ඇටිපොළ මහින්ද හිමියන්ගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (05) පැවැත්විණි. එළැඹෙන අප්‍රේල් මස 16 වැනි දින උදෑසන 9.04ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ දී මේ චාරිත්‍ර සිදු කිරීමට නියමිතය. මීට සමගාමීව අලි ඇතුන් සඳහා හිසතෙල් ගැල්වීම ද සිදු කෙරේ.
මේ උත්සවයට දායකත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ශ්‍රී දළදා මාලිගාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදාව ලබාදෙයි.
මෙවර ජාතික උත්සවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අභයගුණවර්ධන මහතා විසින් සිදු කරනු ලැබීය.
ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් අටම්පාවල, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.